පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් අද රාජ්‍ය බලය ක්‍රියාත්මක කරනු ලබන බවත්, පැලවත්තෙන් බලය ඉවත් කර නැවත පාර්ලිමේන්තුවට පැවරීම සහතික කිරීම කළයුතු බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් අමතා හෙතෙම අද මේ බව පැවසීය.
“වර්ෂ 2023-2030 ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම පිළිබඳව රජයේ ආයතන දැනුවත් කිරීම සඳහා 2025 දී වැඩමුළු සහ සම්මන්ත්රණ පැවැත්වුවද, නොවැම්බර් 27 වැනි බ්‍රහස්පතින්දා ආපදා කළමනාකරණ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කළේ නැහැ.
නොවැම්බර් 28 වැනි සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, හේතුවෙන් සැලැස්ම යටතේ කාර්යයන් පවරා ඇති සියලුම දෙපාර්තමේන්තු, අංශ සහ අනෙකුත් නිලධාරීන් අක්‍රිය වූවා.රජයේ අද්දැකීම් අඩුකම නිසා, පාර්ලිමේන්තුව විසින් ආපදා කළමනාකරණය සහ ප්‍රතිසංස්කරණය පිළිබඳ අධීක්ෂණ කමිටුවක් පත් කිරීම අවශ්‍ය වන අතර, එහි සභාපතිත්වය පළපුරුදු මන්ත්‍රීවරයෙකු විසින් දැරිය යුතු බවත් කබීර් හෂීම් වැනි මන්ත්‍රීවරයෙකු ඊට නම් කළ හැකි බවත් ඔහු පැවසූ අතර එහි සාමාජිකයින් ලෙස අත්දැකීම් ඇති රජයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමාන සංඛ්‍යාවක් පත් කළ යුතු යැයිද පැවසීය.
“ව්‍යසනයෙන් පසුව සාමාන්‍යකරණය සහ ප්‍රතිසංස්කරණය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත වගකීම් පැවරිය යුතුයි. පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවට පාර්ලිමේන්තුවට වාර්තා කළ හැකියි. ආපදාවේ කෙටි කාලීන සහ දිගු කාලීන ආර්ථික ප්‍රතිවිපාක තක්සේරු කිරීම සඳහා අධීක්ෂණ කමිටු ආර්ථික ඒකකයක් ද පත් කළ යුතු වනවා.
නොවැම්බර් 28 වැනි දිනට අදාළව ආපදා කළමනාකරණයේ අඩුපාඩු පිළිබඳව වාර්තා කිරීම සඳහා රජයේ සහ විපක්ෂයේ සමාන සාමාජිකයින් සංඛ්‍යාවක් සහිත විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් වහාම පත් කළ යුතුයි. කමිටුව මාස 6 ක් ඇතුළත නවතම වාර්තා ඉදිරිපත් කළ යුතු වනවා.” යැයිද වික්‍රමසිංහ මහතා කීය.
“දිස්ත්‍රික්කවල සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන්ට භාර දිය යුතුයි. දිස්ත්‍රික් ලේකම්වරුන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා ඉදිරිපත් කළ යුතු වනවා. දේශපාලන සහ ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන් ඒවායින් ඉවත් කළ යුතුමයි.
අය වැය මේ අවස්ථාවේදී අදාළ කරගත යුතු නැහැ. හානියේ තරම දැනගත් පසු 2026 ජනවාරි මාසයේදී නව අය වැයක් ඉදිරිපත් කිරීමට හැකියි.