මේ වනවිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනකු දැඩි ආපදා තත්ත්වයකට මුහුණ දී සිටිති. එයින් එදිනෙදා ජීවිතයට සිදු වූ බලපෑම ද සුළුපටු නොවේ. සමාජ මාධ්‍ය මෙන්ම ජනමාධ්‍ය ඔස්සේ මුදා හරිනු ලබන තොරතුරු ප්‍රවාහය දැන් දැන් මිනිස් මනසට අහිතකර අන්දමට ද බලපෑම් එල්ල කරන්නට ද සමත් වේ. තම හිතවතුන්ගේ වියෝව, තමන් නිතර දෙවේලේ ගනුදෙනු කළ පරිසරය යනාදිය විනාශයට පත් වීම සහ ඒවා පිළිබඳ තොරතුරු නිතර නිතර දකින්නට, අසන්නට ලැබීම මිනිස් මනසට එතරම් සුබවාදී නොවේ. එසේ හෙයින් මෙවන් අවස්ථාවක තම මානසික සෞඛ්‍යය කෙරෙහි එල්ල විය හැකි අවදානම ගැනත්, සංවේදී හා පීඩාකාරී තොරතුරු සමඟ මානසික සෞඛ්‍යය පවත්වා ගත යුත්තේ කෙසේ ද? යන්න ගැනත් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ආචාර්ය මනෝජි හරිස්චන්ද්‍ර සමඟ කළ සාකච්ජාවක් ඇසුරින් මෙම ලිපිය සැකැසේ.
ඕනෑම ව්‍යසනයකදී අපිට දකින්නට ලැබෙන්නේ අභ්‍යන්තරයෙන් ශරීරයට ඇති වූ ආබාධ, කැලල් සහ දේපළ විනාශ වීම්ය. ඊට අමතරව තමන්ගේ ඥාතීන් සහ හිතවතුන්ගේ මරණ දකින්නට ලැබෙනවා. ඒත්, ජීවත්ව සිටින පුද්ගලයන්ගේ ඊටත් වඩා දරුණුවට මනස ආශ්‍රිතව පවතින කැලල් සහ චිත්තවේගය පැවැතිය හැකියි. පුද්ගලයකුට ඇතිවන අහිමිවීමේ වේදනාව අපිට මේ යැයි විස්තර කර කීමට නොහැකියි. අහිමි වීමේ වේදනාව ඉතාම ශෝකාකූලයි. ජීවිත කාලය පුරාම තමන් ඉපැයූ දේපළ අහිමි වීම, ආර්ථිකයක් අහිමි වීම, ළඟම සිටිය ඥාතීන්ගෙන් තමන්ට බොහෝ සෙයින් ආදරය කළ අයගෙන් වෙන්වීමට සිදුවීම, ඒ මතක එක්ක ගොඩනැඟෙන ශෝකයත් ඉතාම සංකීර්ණයි. මේවාගේ පුද්ගලයන් සුවපත් කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ.

ව්‍යසනයකින් පසු ඇතිවන කම්පනය
ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒම හෝ විනාශයට පත් වීම හෝ කඩා බිඳ වැටීමට ලක් වූ නිවාස සහ දේපළ නැවත ගොඩනඟා ගැනීමට හැකියි. ඒත්, එතරම් ලෙහෙසියෙන් මනස සුවපත් කරගන්න බැහැ. ව්‍යසනයකින් පසුව ඇතිවන කම්පන තත්ත්වය දැන් පවතිනවා. ඒක දිගුකාලීනව පැවතීමට ඉඩකඩ පවතිනවා. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (Post-Traumatic Stress Disorder – PTSD) දක්වා මෙය වර්ධනය විය හැකියි. ඥාතීන්, හිතවතුන් පෙනි පෙනීම පස් කඳුවලට යට වෙනවා. වතුරේ ගසාගෙන යනවා. තමන්ට කිසිවක් කර කියාගත නොහැකි වුණා. මේ වගේ දරාගත නොහැකි මානසික තත්ත්වයන් නැවත මතක් වීම තුළ ඇතිවන මානසික කම්පනය හුඟක් ගැඹුරුයි. ඒක හරිම පීඩාකාරියි. එවැනි අවස්ථාවලදී එවැනි පුද්ගලයන්ගේ මානසික මට්ටම වර්ධනය කිරීම සහ දිරිමත් කිරීම සඳහා විශාල වැඩසටහන් ප්‍රමාණයක් සකස් කළ යුතුයි.
අපි තවදුරටත් ව්‍යසයේ යම් කොටසක් පසුකරමින් සිටිනවා. ආපදාවට පත්වූවන් තවදුරටත් කඳවුරුවල හෝ ඔවුන්ගේ නිවාස සහ ගම්බිම්වල නැහැ. පන්සලක, දේවස්ථානයක හෝ පාසලක හෝ ඔවුන් සිටිනවා. තමන් ජීවත් වූ පරිසරයට නැවත යෑමට නොහැකි යැයි ඔවුන්ට දැනෙනවා. අවතැන් වීම සරල දෙයක් නොවෙයි. සුපුරුදු පරිසරයෙන් අනාථ හැඟීමෙන් ජීවත් වීමට සිදුවීම දැඩි මානසික බලපෑමක්. ඒ නුහුරුව දරාගැනීම සහ එම මානසික මට්ටම කළමනාකරණය කරගැනීමටත් ඔවුන්ට යම් කාලයක් ගත වෙනවා.

මනෝවිද්‍යා උපදේශන
ව්‍යසනයට මුහුණ දීමත් සමඟ හිංසාකාරී, ආතතිමය සහ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් සමහර අයට ඇතිවීමට ඉඩ තිබෙනවා. සමාජ කාර්යයක් ලෙස එවැනි පුද්ගලයන් රැක ගැනීමටත්, මැදිහත් වීමට අපිට සිදුවනවා. කොපමණ මනෝවිද්‍යා උපදේශන ලබා දුන්නත්, කොපමණ ආගම දහමට නැඹුරු කළත් ඔවුන්ව ගලවා ගැනීම, යථා තත්ත්වයට පත් කිරීම සිතන තරම් පහසු කරුණක් නම් නොවේ. ඔවුන් තුළ ඉච්ඡාභංගත්වය, ආතතියකින් ඔවුන් පීඩා විඳිනවා. අන් අය කෙරෙහි වෛර කරන්නට පෙලඹෙනවා. ස්වභාවධර්මය තමන්ට දඬුවම් කළේ යැයි ඔවුන් තුළ නිගමනයක් ඇතිවීමට හැකියි.
පුද්ගල මනස තුළ අවිශ්වාසය ගොඩනැඟීමටත් හැකියි. ඒ වගේම විවිධ මානසික ව්‍යාධි ඔස්සේ වෙනත් ඇබ්බැහිවීම්වලටත් හුරුවීමට හැකියි. ඔවුන්ගේ පෞරුෂය බිඳී විනාශකාරී තත්ත්වයන් වෙත ගමන් කිරීමට හැකියි.
සමාජයීය බිඳ වැටීමකුත් දකින්නට තිබෙනවා. ඒක සාමාන්‍යයි. සැමට එක අයුරින් දරාගැනීමේ හැකියාවක් නැහැ. සමාජ මාධ්‍ය, සජීවී රූපවාහිනී මාධ්‍ය සහ සෑම කෙනකු ළඟම තිබෙන ජංගම දුරකථන හරහා ව්‍යසනයට ලක් වූ අය පිළිබඳ සහ ඔවුන් මුහුණ පෑ පීඩාව දකින්නට ලැබුණා. තමන් කිසිදු පීඩාවකට ලක් නොවුවත්, අත්දැකීම වෙනත් අයුරකින් විඳගන්න ලැබුණා. අපේ ජනතාව බොහොමයක් දෙනා තුළ වූ සහකම්පනය හේතුවෙන් තමන්ට වුණා වගේ හැඟීමකින් පසුවනවා. මෙවැනි සජීවී අත්දැකීම් ජනතාවට ලැබුණු දරුණු පාරිසරික ව්‍යසනයක් මීට පෙරදී දැකලා තිබුණේ නැහැ. ඒ නිසා දරාගැනීමට කාලයක් ගත වෙනවා.
මානසික සමාජයීය බිඳවැටීම නිසාත් පුද්ගලයාට මානසික සහ ආර්ථික වශයෙනුත් කාලයක් යැපෙන්නට සිදු විය හැකියි. ඇතැමුන්ගේ කෘෂි කාර්මික කටයුතු අඩාලයි, තවත් අයකුගේ වෙළෙඳ ව්‍යාපාර, කඩ සාප්පු ජලයෙන් යටවෙලා. ඒ සියල්ලක්ම ඔවුන් නැවත වරක් යථා තත්ත්වයට පත් කරගත යුතුයි. ඒ සඳහා යම්කිසි කාලයක් වැය වෙනවා. ඒවා ජීවිත අර්බුද ලෙස දැකිය හැකියි.

සානුකම්පිත හැඟීම්
මේ නිසා මානසික සන්සුන්භාවය, මානසික සුවපත් කිරීම අත්‍යවශ්‍යයි. එය තනි පුද්ගලයා ලෙසත් සමූහයක් ලෙසත් සිදු කළ යුතුම දෙයක්. එක් පුද්ගලයෙක් පමණක් සුවපත් කිරීමෙන් සෑහීමට පත්විය නොහැකියි. එක් පුද්ගලයකුගේ මානසික තත්ත්වය කෙරෙහි ඔහු වටා පිරිසගේ චර්යාවනුත් බලපානවා. ඒ නිසා සාමූහිකව සමස්ත ජනතාව සුවපත් කිරීම අවශ්‍යයි. ව්‍යසනයට මුහුණ දුන් සහ නොදුන් යන දෙපිරිසම සුවපත් විය යුතුයි. සානුකම්පිත හැඟීම් ඇතිවන්නේ එවිටයි.
අපේ අසල්වැසියාගේ දොර අහිමි වෙලා සිටින විට සංවේදීව ඒ කෙනා දෙස බැලීමට, තේරුම් ගැනීමට සහ වහා ක්‍රියාත්මක වීමට සිත යොමු වන්නේ එවිටයි. සංවේදීව අනෙකා දෙස බැලීමේ වගකීම සහ වගවීම ඇතිවන්නේ එවිටයි. වෛද්‍ය ප්‍රතිකාර, මනෝ සමාජ ප්‍රතිකාර, ආධාර අනිවාර්යයෙන්ම ලබාදිය යුතුයි. ඒ වාගේම සමාජ සබඳතා ගොඩනඟා ගැනීම සහ බැඳීම් ඇති කරගැනීම සඳහා මානසික මඟ පෙන්වීමක් අවශ්‍යයි. දෙවැනි ලෝක යුද්ධය හරහා සිදු වූ ව්‍යසනයේදී මිනිසුන් ඇසුවේ එක ප්රශ්නයයි. ‘ මොකක්ද මේ ජීවිතයේ අරුත ? Ò මේ වගේ දාර්ශනික සිතුවිල්ලක් ඇතිවීම පොදු කාරණයක්. සියල්ල අහිමිව එක් අයකු දිවි ගලවාගෙන සිටිනවා විය හැකියි. යන්න එන්න තැනක් නැතිව අවතැන් ස්ථානයක සිටිනවා විය හැකියි. එහෙම පුද්ගලයකු යථෝක්ත ආකාරයේ දාර්ශනික හැඟීමකට ඒම හරිම සාමාන්‍යයි.
ඒ සඳහා සාර්ථක පිළිතුරක් දීමට යම් කෙනකු පුද්ගලයකුට සිටිය යුතුයි. ආගමික හෝ සංස්කෘතික හෝ අර්ථවත් පිළිතුරක් ලබාදීමට හැකියි. ව්‍යසනයට මුහුණ දුන් ඇතැම් පුද්ගලයන්ට තමන්ගේම අය තවදුරටත් තමන් සමඟ ඉඳීමට හැකියි. ඒත්, ඔවුන් අතර පැවැති බැඳීම් අඩුවිය හැකියි. ඊට වඩා වැඩි පීඩනයකින් සිටිනවා විය හැකියි. ඒ නිසා මනෝවිද්‍යාත්මක හා මනෝ සායනික මඟ පෙන්වීමක්, සහායක් මේ අයට අවශ්‍යයි.
අද සන්නිවේදනය ඉතාම දියුණුයි. ඒත් එය අද භාවිත කළ යුතු වන්නේ පුද්ගලයාව දිරිමත් කිරීමටයි. ඒ හරහා කිසිසේත්ම වේදනාත්මක මඟ පෙන්වීමක් නොවිය යුතුයි. ව්‍යවසන ස්වාභාවිකයි. අපි කාටත් ඒ සඳහා කොයි මොහොතකදී හෝ මුහුණ දීමට සිදු වේවි. අපේ ආගම්වලිනුත් කියාදෙන්නේ ‘මේ මොහෙතේ අපි ළඟ තිබෙන සියල්ලක්ම අපිට යම් දිනෙක අහිමි වේවි Ò කියන පණිවුඩයයි.

ධනාත්මක දිරිගැන්වීම්
පීඩාවට පත් අයට ධෛර්ය, ශක්තිය ඇතිවීම සඳහ සක්‍රිය සන්නිවේදනයක් ලබාදිය යුතුයි. අහිමිවීම්, ස්වාභාවික අහිමිවීම් සහ ලෝක ස්වභාවය පිළිබඳ පැහැදිලි වටහා දීමක් ඒ හිත්වල ජනිත කළ යුතුයි. ඒත් මේක හිතනා තරම් පහසු කරුණක් නොවෙයි. පැයකදී දෙකකදී හෝ මාසයකදී කළ හැකි දෙයක් නොවේ. ඒත්, ජීවිතය දිරිමත් කිරීම කළ යුතුයි. ‘අපි ජීවත්ව සිටිනවා සහ ජීවිතය රැකගෙන ඉදිරියට යා යුතුය’ යන්න ඒ මනස් තුළ ඇති කීරීම අවශ්‍යයි.
කම්පනය සහ පීඩාවට පත්වූ විට එම පුද්ගලයාව යොමු කළ යුත්තේ ධනාත්මක දිරිගැන්වීම් සඳහා පමණයි. නැති වූ වටිනාකම් ඇතිකර ගැනීම, ඉදිරියට යන්න සහ රැකගන්න එම පුද්ගලයාව දැනුම්වත් කළ යුතුයි. විශේෂයෙන්ම ධනාත්මක වෙනස්කම් සඳහා දිරිමත් කළ යුතුයි.
සංස්කෘතිය සහ ආගම වත්පිළිවෙත් හරහා පුද්ගල ආකල්ප වර්ධනය සිදු කෙරෙනවා. ඒ නිසා එවැනි වටාපිටාවක සිට කටයුතු කිරීම වැදගත්. ඒ හරහාත් මනෝ විද්‍යාත්මක මඟ පෙන්වීමක් සිදුවනවා. ඒ වගේම අධ්‍යාපන වැඩසටහන් සහ ප්‍රජා සේවා හරහා මානසික ශක්තිය වැඩිකිරීමට සහ දිරිගැන්වීම් සඳහා වැඩසටහන් අවශ්‍යයි. ව්‍යසනයේදී මුහුණ දුන් සිදුවීම් සහ බැඳීම් අහිමිවීම සමඟ පශ්චාත් කාලයේදී හුදකලා වීම, මීට පෙර තමන්ට ලබාදුන් වටිනාකම නැවත ලබා නොදීමට ඉඩකඩ වැඩියි. මේ නිසා අධ්‍යාපන සහ ප්‍රජා සේවා වැඩසටහන් ඇති කිරීම ග්‍රාමීය මට්ටමින් කළ යුතුයි.
මානසික උපදේශනය සහ ප්‍රවර්ධනය මෙවැනි ප්‍රජා වැඩසටහන් ඔස්සේ ක්‍රියාත්මක කිරීම හරිම වැදගත්. ආර්ථික සංවර්ධනය, මහාමාර්ග අලුත්වැඩියාව, නිවාස හා පැවැති තත්ත්වයන් ගොඩනඟා දුන් පමණින් ජීවිතය යළි හදාගන්නට නොහැකියි. ‘අපි ඔබ සමඟ සිටිනවා’ යන පණිවුඩය ඔවුන්ට ලබාදීම කළ යුතුයි. ඒ වගේම ඔවුන්ගේ මානසික සෞඛ්‍යය සුවපත් කිරීමත් අත්‍යවශ්‍යයි.
ආචාර්ය මනෝරී හරිස්චන්ද්‍ර
දිනමිණ පුවත්පතෙනි