2026 අයවැය විවාදයේ අවසන් දිනය අදට යෙදී තිබෙන අතර අද (05) තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පස්වරු 6ට සිදුකිරීමට නියමිතයි.
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය නොවැම්බර් 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඉකුත් නොවැම්බර් 14 වනදා 2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැති අතර එය වැඩි ඡන්දයෙන් සම්මත වුණි.
එහිදී අයවැය ට පක්ෂව දෙමල ජාතික සංවිධානයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ඇතුළුව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවූ අතර 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය. ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත වුණි.
තුන්වන වර කියවීමේ විවාදය සඳහා දින 17ක කාලයක් වෙන්කර තිබුණද පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින දෙකක කාලයක් අයවැය රැස්වීම් අවස්ථා කිහිපයකදී කල්තැබීම සිදුවුණි.
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කිරීමටත් නියමිත බවයි පැවසෙන්නේ.
කෙසේවෙතත් මේ තුළින් කර්මාන්ත ක්ෂේත්‍රයට, අධ්‍යාපන ක්ෂේත්‍රයට සහ මෙම කාලගුණ තත්වය නිසා පිඩාවට පත් සියලුම ජනතාව යලි ගොඩනැංවීමට අවශ්‍ය ප්‍රතිපාදනන් අයවැය මගින් ලබාදීමට නියමිතයි.