බංග්ලාදේශයේ ජමාටි ඉස්ලාම් සංවිධානය රැකියාවේ නිරතව සිටින කාන්තාවන්ගේ දෛනික සේවා මුරය පැය 5ක් දක්වා අඩු කිරීමේ යෝජනාවක් අන්තර්වාර රජයට ඉදිරිපත් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. කාන්තාවන්ට නිසි ගෞරවය ලබාදීම අරමුණු කරමින් ජමාටි ඉස්ලාම් සංවිධානයේ ප්‍රධානි ෂිෆිකුර් රහ්මාන් අන්තර්වාර රජයට එම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ දරුවන්ගේ සිවිල් අයිතිවාසිකම් සැලකිල්ලට ගනිමින් බවත්, දරුවන් රැක බලා ගැනීම මවුවරුන්ගේ වගකීම බවත් එම යෝජනාව සම්බන්ධව ඩකා නුවර පැවති මාධ්‍ය හමුවකදී ජමාටි ඉස්ලාම් සංවිධානය ප්‍රකාශ කළ බව ද එරට මාධ්‍ය සඳහන් කරයි.
යුනිසෙෆ් සංවිධානයේ මූලිකත්වයෙන් පසුගියදා ඩකා නුවර පැවති ළමා අයිතීන් සුරක්ෂිත කිරීමේ ප්රකාශනයකට ද ජමාටි ඉස්ලාම් සංවිධානය ඇතුළු දේශපාලන පක්ෂ 12ක් අත්සන් තැබූ බව ද වාර්තා වේ. ජමාටි ඉස්ලාම් සංවිධානයේ යෝජනාව සම්බන්ධව එරට ජනතාව අතර දැඩි විරෝධයක් ඉස්මතු වී ඇති අතර, එම යෝජනාව එරට කාන්තාවන්ගේ රැකියා කිරීමේ අයිතිය වැළැක්වීමේ අරමුණින් සිදු කර ඇතැයි චෝදනා එල්ල වී තිබේ.