
කාලගුණ අනාවැකිය අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජලාශවල ජලය කල්තබා ඉවත් කළේ නම් මෙතරම් විශාල ගංවතුර තර්ජනයක් ඇති නොවන බව පසුගිය දා පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී කබීර් හසීම් ප්‍රකාශයක් කළේය. ගම්පොළ ප්‍රදේශයේ මරණ 1000කට ආසන්න ප්‍රමාණයක් සිදුවන්නට ඇතැයිද එය වළක්වාගත හැකිව තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය. මේ, ඒ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර සමඟ කළ සාකච්ඡාවකි.
“අපේ සෑම ජලාශයක්ම වාන් මට්ටමට වඩා අඩි 4ක් යටින් තබාගන්නා ලෙස මම නිලධාරින්ට දැනුම් දී තිබුණා. එය ක්‍රියාත්මක වුණා. ඊට වඩා යට මට්ටමකින් ජලාශවල ජලය රඳවාගෙන බැහැ. මොකද කාලගුණය පිළිබඳ ලබා දෙන්නේ අනාවැකි. වගාවට ජලය ලබා දීමට දෙපාර්තමේන්තු බැඳී සිටින නිසා අඩි 4 මට්ටමේ ජලය රඳවාගැනීම කරනවා. කාලගුණික වාර්තාව අනුව අපි ජලය මුදා හැරීමත් සිදු කළා. පසුගියදා ඇතිවුණේ එවැනි තත්ත්වයක්. එවැනි තත්ත්වයන් පාලනය කිරීම ඉතාම අසීරුයි.
දැදුරු ඔය, රාජාංගණ ජලාශය, යාංඔය සහ තබ්බෝව වාං දැමීම හේතුවෙන් එම ජලාශ පහළ ජනතාවට ගංවතුරට මුහුණ පෑමට සිදු වුණා. ජලාශවල ජලය වාරි කටයුතු සඳහා යොදා ගන්නවා. මේ වකවානුව කන්න වගාව ආරම්භ වන කාලයයි. ඒ නිසා ගොවීන්ට ජලය ලබා දීමට අපි බැඳී සිටිනවා. කාලගුණ දෙපාර්තමේන්තුව ලබා දෙන්නේ අනාවැකියක්. ඒ මතම පිහිටුවා වාරි කළමනාකරණය කළ නොහැකියි. ඒවගේම ජලාශයක් වාන් ඇරීම සඳහා සලකා බලන කරුණු ගණනාවක් තිබෙනවා. වැසි වැටීම මතම වාන් හැරීමට නොහැකියි.
ජලාශයක වාන් මට්ටම ධාරිතාව ලෙස අපි මනිනු ලබනවා. ජලාශයේ වාන් මට්ටමටත් වඩා ජලය ඉහළට නැඟිය හැකියි. එය අධි වාන් මට්ටම ලෙස සලකනවා. මෙය වාන් මට්ටමේ සිට අඩි 4 – 3ත් ඉහළට පැමිණිය හැකිය. ජලාශයේ හැටියට අඩි පහක් දක්වාත් ඉහළට යාහැකි අවස්ථා තිබෙනවා. අධි වාන් මට්ටමට එහා අඩි 5ක් පමණ තවදුරටත් උඩට මට්ටමක් තිබෙනවා. එය ජලාශයේ බැම්මේ මට්ටම ලෙස සැලකෙනවා. ඒ අයුරින් මූලික මිනුම් මට්ටම් 3ක් තිබෙනවා.
සාමාන්‍ය කාලයකදී වාන් මට්ටමේ සිට අඩියක් වැනි මට්ටමකදී වාන් විවෘත කරනවා. දිට්වා කුණාටු තත්ත්වයේදී ජලාශ වාන් මට්ටමට අඩි 3-4ක් යට මට්ටමකදී විවෘත කළා. වැසි ලැබෙනවා යැයි අනාවැකියකුත් තිබුණු නිසා අපි එම තීරණය ගත්තා.ගොවීන්ට අවශ්‍ය ජලය ලබා දීමේදී කන්නය ආරම්භයත් සමඟ ඔවුන්ව දැනුවත් කරනවා. පවතින ජල මට්ටම අනුව මෙතරම් අක්කර ගණනක වගාවක් කළ හැකියි, වගා කළ යුතු වී වර්ගය මාස ගණන අනුවත් නිර්දේශ කරනවා. වගා කටයුතු සඳහා මුලින්ම ජලය සපයා දෙන දිනය වගේම ජලය ලබා දෙන අවසන් දිනයත් වැනි කොන්දේසි මත වගා කරනවා. එහිදී කන්නය සාර්ථක කරගැනීමටත් අප ආයතනය බැඳී සිටිනවා.
කල් තබා ජලය මුදාහැරියේ නැතැයි අපිට චෝදනාව තිබෙනවා. මහා පරිමාණයෙන් ගංවතුර උවදුර ගෙනාවේ රාජාංගණය සහ දැදුර ජලාශයයි. දැදුරු ඔය ජලාශය පිළිබඳ පැහැදිලි කරනවා නම් 22වැනිදා මුලින්ම වාන් මට්ටමට බැම්මට වඩා අඩි 2-3ත් මට්ටමට ජලය නැඟ ආවා. මේ නිසා වාන් විවෘත කළා. එදින සවස වන විට තත්පරයට ඝන අඩි 5600ක් සහ 23 වැනිදා පාන්දර 2 වන විටදී තත්පරයට ඝන අඩි 19400ක් මුදා හැරියා. මුලින්ම ගංවතුර තර්ජනයක් පැමිණියේ 27වැනිදායි. එදින පෙරවරු 10 වන විටදී තත්පරයට ඝන අඩි 60000ක් සහ පෙරවරු 6 පමණ වන විටදී තත්පරයට ඝන අඩි 102000ක් මුදා හැර තිබුණා.
දැදුරු ඔය ජලාශයේ ධාරිතාව මෙන් අට ගුණයක තරම් ධාරිතාවක් ඉතා සීමිත කාලයක් තුළදී ලැබුණා. ජලාශයේ වතුර නැතිව සිඳී තිබුණත් ලැබුණු විශාල ජල ප්‍රමාණය කළමනාකරණය කළ හැකිව තිබුණේ පැය 6ක් වැනි කාලයක් සඳහා පමණයි. අනෙක් සියලුම ජලය මුදාහැරීමට සිදු වනවා. වගාවට ජලය ලබා දීමේ මූලික පරමාර්ථය ඇතිව ජලාශ ගොඩනගා තිබෙනවා. වසර 100-1000කට කාලයකට සැරයක් එන ජලය රඳවාගන්නට නම් සකසා නැහැ. දෙවැනි අරමුණ ලෙස ගංවතුර පාලනයත් තිබෙනවා. නමුත් පසුගිය සතියේදී ලැබුණු ජලය පාලනය කිරීමට තරම් පහසුකමක් අපිට නැහැ. ඒ සඳහා දැදුරු ඔය තිබෙන ප්‍රමාණයට වඩා හතර පස්ගුණයක්වත් විශාලව ඉදිකිරීමට සිදු වනවා.
රාජාංගණය ජලාශයේත් නොවැම්බර් 22දා තත්පරයට ඝන අඩි 2000ක් වාං ඇර තිබුණා. 27 වැනිදා වන විට එහි මට්ටමත් වාන් මට්ටමට පැමිණියා. 28 වැනිදා වන විට තත්පරයට ඝන අඩි 78000ක් මුදාහැරියා. ජලාශය බේරාගැනීමට කලාඔය දිගේ පැමිණි විශාල ජල කඳ පහළට යැවීමට සිදු වුණා.
සිළුමිණ