ජලාශ හිස් කරලා ගංවතුර පාලනය කරන්න පුලුවන් ද?

victoria dam1
1 14

කාල­ගුණ අනා­වැ­කිය අනුව වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව ජලා­ශ­වල ජලය කල්තබා ඉවත් කළේ නම් මෙත­රම් විශාල ගංව­තුර තර්ජ­­න­යක් ඇති නොවන බව පසු­ගිය දා පාර්ලි­මේ­න්තු­වේදී විපක්ෂ මන්ත්‍රී කබීර් හසීම් ප්‍රකා­ශ­යක් කළේය. ගම්පොළ ප්‍රදේ­ශයේ මරණ 1000කට ආසන්න ප්‍රමා­ණ­යක් සිදු­ව­න්නට ඇතැ­යිද එය වළ­ක්වා­ගත හැකිව තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය. මේ, ඒ පිළි­බඳ වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් අජිත් ගුණ­සේ­කර සමඟ කළ සාක­ච්ඡා­වකි.

“අපේ සෑම ජලා­ශ­යක්ම වාන් මට්ට­මට වඩා අඩි 4ක් යටින් තබා­ගන්නා ලෙස මම නිල­ධා­රින්ට දැනුම් දී තිබුණා. එය ක්‍රියා­ත්මක වුණා. ඊට වඩා යට මට්ට­ම­කින් ජලා­ශ­වල ජලය රඳ­වා­ගෙන බැහැ. මොකද කාල­ගු­ණය පිළි­බඳ ලබා­ දෙන්නේ අනා­වැකි. වගා­වට ජලය ලබා­ දී­මට දෙපා­ර්ත­මේන්තු බැඳී සිටින නිසා අඩි 4 මට්ටමේ ජලය රඳ­වා­ගැ­නීම කර­නවා. කාල­ගු­ණික වාර්තාව අනුව අපි ජලය මුදා හැරී­මත් සිදු කළා. පසු­ගි­යදා ඇති­වුණේ එවැනි තත්ත්ව­යක්. එවැනි තත්ත්ව­යන් පාල­නය කිරීම ඉතාම අසී­රුයි.

දැදුරු ඔය, රාජාං­ගණ ජලා­ශය, යාංඔය සහ තබ්බෝව වාං දැමීම හේතු­වෙන් එම ජලාශ පහළ ජන­තා­වට ගංව­තු­රට මුහුණ පෑමට සිදු වුණා. ජලා­ශ­වල ජලය වාරි කට­යුතු සඳහා යොදා ගන්නවා. මේ වක­වා­නුව කන්න වගාව ආරම්භ වන කාල­යයි. ඒ නිසා ගොවීන්ට ජලය ලබා දීමට අපි බැඳී සිටි­නවා. කාල­ගුණ දෙපා­ර්ත­මේ­න්තුව ලබා­ දෙන්නේ අනා­වැ­කි­යක්. ඒ මතම පිහි­ටුවා වාරි කළ­ම­නා­ක­ර­ණය කළ නොහැ­කියි. ඒව­ගේම ජලා­ශ­යක් වාන් ඇරීම සඳහා සලකා බලන කරුණු ගණ­නා­වක් තිබෙ­නවා. වැසි වැටීම මතම වාන් හැරී­මට නොහැ­කියි.

ජලා­ශ­යක වාන් මට්ටම ධාරි­තාව ලෙස අපි මනිනු ලබ­නවා. ජලා­ශයේ වාන් මට්ට­ම­ටත් වඩා ජලය ඉහ­ළට නැඟිය හැකියි. එය අධි වාන් මට්ටම ලෙස සල­කනවා‍. මෙය වාන් මට්ටමේ සිට අඩි 4 – 3ත් ඉහ­ළට පැමි­ණිය හැකිය. ජලා­ශයේ හැටි­යට අඩි පහක් දක්වාත් ඉහ­ළට යාහැකි අවස්ථා තිබෙ­නවා. අධි වාන් මට්ට­මට එහා අඩි 5ක් පමණ තව­දු­ර­ටත් උඩට මට්ට­මක් තිබෙ­නවා. එය ජලා­ශයේ බැම්මේ මට්ටම ලෙස සැල­කෙ­නවා. ඒ අයු­රින් මූලික මිනුම් මට්ටම් 3ක් තිබෙ­නවා.‍

සාමාන්‍ය කාල­ය­කදී වාන් මට්ටමේ සිට අඩි­යක් වැනි මට්ට­ම­කදී වාන් විවෘත කර­නවා. දිට්වා කුණාටු තත්ත්ව­යේදී ජලාශ වාන් මට්ට­මට අඩි 3-4ක් යට මට්ට­ම­කදී විවෘත කළා.‍ වැසි ලැබෙ­නවා යැයි අනා­වැ­කි­ය­කුත් තිබුණු නිසා අපි එම තීර­ණය ගත්තා.ගොවීන්ට අවශ්‍ය ජලය ලබා­ දී­මේදී කන්නය ආර­ම්භ­යත් සමඟ ඔවුන්ව දැනු­වත් කර­නවා. පව­තින ජල මට්ටම අනුව මෙත­රම් අක්කර ගණ­නක වගා­වක් කළ හැකියි, වගා කළ යුතු වී වර්ගය මාස ගණන අනු­වත් නිර්දේශ කර­නවා. වගා කට­යුතු සඳහා මුලින්ම ජලය සපයා දෙන දිනය වගේම ජලය ලබා­ දෙන අව­සන් දින­යත් වැනි කොන්දේසි මත වගා කර­නවා. එහිදී කන්නය සාර්ථක කර­ගැ­නී­ම­ටත් අප ආය­ත­නය බැඳී සිටි­නවා.

කල් තබා ජලය මුදාහැරියේ නැතැයි අපිට චෝද­නාව තිබෙ­නවා. මහා පරි­මා­ණ­යෙන් ගංව­තුර උව­දුර ගෙනාවේ රාජාං­ග­ණය සහ දැදුර ජලා­ශ­යයි. දැදුරු ඔය ජලා­ශය පිළි­බඳ පැහැ­දිලි කර­නවා නම් 22වැනිදා මුලින්ම වාන් මට්ට­මට බැම්මට වඩා අඩි 2-3ත් මට්ට­මට ජලය නැඟ ආවා. මේ නිසා වාන් විවෘත කළා. එදින සවස වන විට තත්ප­ර­යට ඝන අඩි 5600ක් සහ 23 වැනිදා පාන්දර 2 වන විටදී තත්ප­ර­යට ඝන අඩි 19400ක් මුදා හැරියා. මුලින්ම ගංව­තුර තර්ජ­න­යක් පැමි­ණියේ 27වැනි­දායි. එදින පෙර­වරු 10 වන විටදී තත්ප­ර­යට ඝන අඩි 60000ක් සහ පෙර­වරු 6 පමණ වන විටදී තත්ප­ර­යට ඝන අඩි 102000ක් මුදා හැර තිබුණා.

දැදුරු ඔය ජලා­ශයේ ධාරි­තාව මෙන් අට ගුණ­යක තරම් ධාරි­තා­වක් ඉතා සීමිත කාල­යක් තුළදී ලැබුණා. ජලා­ශයේ වතුර නැතිව සිඳී තිබු­ණත් ලැබුණු විශාල ජල ප්‍රමා­ණය කළ­ම­නා­ක­ර­ණය කළ හැකිව තිබුණේ පැය 6ක් වැනි කාල­යක් සඳහා පම­ණයි. අනෙක් සිය­ලුම ජලය මුදා­හැ­රී­මට සිදු වනවා. වගා­වට ජලය ලබා­ දීමේ මූලික පර­මා­ර්ථය ඇතිව ජලාශ ගොඩ­නගා තිබෙ­නවා. වසර 100-1000කට කාල­ය­කට සැර­යක් එන ජලය රඳ­වා­ග­න්නට නම් සකසා නැහැ. දෙවැනි අර­මුණ ලෙස ගංව­තුර පාල­න­යත් තිබෙ­නවා. නමුත් පසු­ගිය සති­යේදී ලැබුණු ජලය පාල­නය කිරී­මට තරම් පහ­සු­ක­මක් අපිට නැහැ. ඒ සඳහා දැදුරු ඔය තිබෙන ප්‍රමා­ණ­යට වඩා හතර පස්ගු­ණ­ය­ක්වත් විශා­ලව ඉදි­කි­රී­මට සිදු වනවා.

රාජාං­ග­ණය ජලා­ශ­යේත් නොවැ­ම්බර් 22දා තත්ප­ර­යට ඝන අඩි 2000ක් වාං ඇර තිබුණා.‍ 27 වැනිදා වන විට එහි මට්ට­මත් වාන් මට්ට­මට පැමි­ණියා. 28 වැනිදා වන විට තත්ප­ර­යට ඝන අඩි 78000ක් මුදාහැරියා. ජලා­ශය බේරා­ගැ­නී­මට කලා­ඔය දිගේ පැමිණි විශාල ජල කඳ පහ­ළට යැවී­මට සිදු වුණා.

සිළුමිණ