ක්‍රිකට් පරාජයක වේදනාව වැඩිපුර දැනෙන්නේ ක්‍රීඩකයන්ට නොව ප්‍රේක්ෂකයන්ට යැයි කතාවක් තිබේ. එවැනි වේදනාකාරි ක්‍රිකට් පරාජයන් ලොව ඕනෑම රටක ක්‍රීඩාලෝලීන් ඉතිහාසය පුරා අත්විඳින්නට ඇත. ක්‍රීඩකයන්ද අඩුවැඩි වශයෙන් එවැනි අත්දැකීම් ලබන්නට ඇත. එහෙත් 1882 අගෝස්තුවේ ඕවල් පිටියේදී ඔස්ට්‍රේලියානුවන් හමුවේ එංගලන්ත ක්‍රීඩකයන් ලැබූ ලජ්ජාසහගත ටෙස්ට් පරාජය නම් ඒ සියල්ලටම වඩා වේදනාබර එකකි. පරාජයෙන් පසු එංගලන්තයේ ක්‍රීඩකයන්ට මුහුණ පෑමට සිදු වූ කටුක සිදුවීම පරාජයේ වේදනාව දෙගුණ තෙගුණ කිරීමට සමත් වූ එකකි. වසර 143ක් ගත වූවත් අදටත් පරම්පරා ගණනාවක් පුරා එංගලන්තය නියෝජනය කරන ක්‍රීඩකයන්ට ඒ අමිහිරි මතකය වසරින් වසර අලුත් වන්නේ එබැවිනි.

ලෝක ක්‍රිකට් පිටියේ සාම්ප්‍රදායික පසමිතුරන් වන එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර වාර්ෂිකව පැවැත්වෙන ‘අළු බඳුන’ ටෙස්ට් තරගයේ ඇරඹුම සිදු වූයේ එම පරාජයෙනි.
එදා ඕවල් පිටියේ ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට එංගලන්තයට පැමිණි බිලී මර්ඩොච්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානු පිල ලකුණු 7කින් තරගය ජය ගත්තේය. තරගයේ ජයග්‍රහණය සඳහා නියමිත ඉලක්කය වූයේ ලකුණු 85කි. එහෙත් මන්කි හෝන්බිගේ නායකත්වයෙන් යුතු එංගලන්ත පිලට එම ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට නොහැකි වූ අතර, ඉනිම නිමාවට පත් වූයේ ලකුණු 77කිනි. ආරම්භක පිතිකරු දොස්තර ඩබ්.ජී. ග්‍රේස් හැරුණු විට සෙසු කිසිදු පිතිකරුවකුට හිස එසවීමට ඔස්ට්‍රේලියානුවන් ඉඩ තැබුවේ නැත.
එංගලන්ත ක්‍රීඩකයන් එදා සිය මවුබිමේදීම ඔස්ට්‍රේලියානුවන් හමුවේ දණ ගැසුවේ ජයග්‍රහණය පෙනි පෙනී තිබියදීය. ප්‍රේක්ෂකයෝ කුපිත වූහ. බ්‍රිතාන්‍ය මාධ්‍ය අනුකම්පා විරහිතව සිය ක්‍රීඩකයන් පතුරු ගැසුවේය.

එවකට බ්‍රිතාන්‍යයේ පළ වූ ‘ස්පෝර්ටින් ටයිම්ස්’ පුවත්පතේ තරුණ ක්‍රීඩා මාධ්‍යවේදියා රෙජිනල්ඩ් ෂර්ලි බෘක්ස් එංගලන්ත ක්‍රීඩකයන්ගේ පරාජය සමච්චලයට ලක් කරමින් ඊළඟ දිනයේදී මරණ දැන්වීමක ආකාරයෙන් අපූරු සටහනක් පළ කළේය. එහි සඳහන් වූයේ මෙසේය:
‘1882 අගෝස්තු 29 වැනිදා ඕවල් පිටියේදී එංගලන්ත ක්‍රිකට් මිය ගිය අතර, එය මිතුරන් සහ හිතවතුන් විශාල පිරිසකගේ ශෝකයට හේතු විය. සමාදානයේ සැතපේවා! දේහය ආදාහනය කර අළු ඔස්ට්‍රේලියාවට රැගෙන යනු ඇත.’
ටෙස්ට් පරාජයේ මිථ්‍යා භස්මාවශේෂ කතාව දිග්ගැස්සී ගියේය. එම වසරේදීම සීත ඍතුවේ ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරීමට එංගලන්ත පිල ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ අතර, පිටත්ව යෑමට පෙර නායක අයිවෝ බිල්ග් වාර්තාකරුවන්ට මෙසේ කීවේය:
“අපි මේ යන්නේ ඒ ‘අළු’ ටික ආපහු එංගලන්තයට අරගෙන එන්නයි.”
එංගලන්ත පිලේ නායකයාගේ මේ ප්‍රකාශය ඔස්ට්‍රේලියාවටත් පැතිරී ගියේය. එංගලන්තයේ පුවත්පත් පසුව එම සංචාරය හැඳින්වූයේ අළු බඳුන නැවත අත් කරගැනීමේ ගවේෂණය ලෙසටය. එංගලන්ත පිලේ නායකයා පැවසූ පරිදිම තරග 3කින් සමන්විත එම ටෙස්ට් තරගාවලිය 2-1කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය.

මෙල්බර්න් නුවර පැවති අවසන් ටෙස්ට් තරගයෙන් පසු එංගලන්ත පිලේ ජයග්‍රහණය සංකේතවත් කරමින් මෙල්බර්න් නුවර තරුණියන් පිරිසක් විසින් මැටියෙන් තැනූ කුඩා බඳුනක් එංගලන්ත පිලේ නායකයාට පිළිගැන්වූයේ ජයග්‍රහණයටත් සමච්චල් කරමිනි. එම බඳුන තුළ වූයේ දැවයෙන් තැනූ ක්‍රිකට් පන්දුවක අළු ස්වල්පයකි. අළු බඳුන පිළිගැන්වූ ෆ්ලෝරන්ස් මෝෆි නමැති තරුණිය ඊට වසරකට පසු එංගලන්ත පිලේ නායකයා සමඟ අතිනත ගැනීම ‘අළු බඳුනේ’ තවත් අතුරු කතාවකි. 1927දී අයිවෝ බිල්ග්ගේ අභාවයෙන් පසු වැන්දඹු බිරිය එම ‘අළු බඳුන’ එංගලන්තයේ මෙරිලිබෝන් ක්‍රිකට් සමාජයට භාර දුන් අතර, එය අදටත් ලෝඩ්ස්හි මෙරිලිබෝන් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඓතිහාසික වටිනාකමකින් යුතු අපූරු සිහිවටනයකි. පසුකාලීනව දෙපිල අතර පැවැත්වෙන සෑම ටෙස්ට් තරගමාලවකම ජයග්රහණයෙන් පසු ඒ අළු බඳුන සංකේතවත් කරමින් සිය රටට රැගෙන යා හැකි අනුරුවක් පිළිගැන්වීම සම්ප්‍රදායිකව සිදු වන්නකි.
වසර 143ක් පැරණි මේ ‘අළු බඳුන’ ටෙස්ට් ඉතිහාසයේ 74 වැනි තරගාවලිය මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වේ. මෙතෙක් පැවැති තරගාවලි අතුරින් වැඩිම සංඛ්‍යාවක් දිනාගැනීමේ වාර්තාවට ඔස්ට්‍රේලියාව හිමිකම් කියනු ලබන්නේ තරගාවලි 34ක් ජය ගනිමිනි. එංගලන්තය දිනා ඇති තරගාවලි සංඛ්‍යාව 32කි. තරගාවලි 7ක් නිමාවට පත් වූයේ ජය පරාජයෙන් තොරවය.