හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් පසුව නිර්මාණය වූ හොඳම ආණ්ඩුව, ජාතික ජන බලවේග ආණ්ඩුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවැසීය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ සිකුරාදා (05) පාර්ලිමේන්තුවේ අය-වැය ඡන්ද විමසීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේ පාර්ලිමේන්තු බිම් මහලේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“ජනාධිපතිතුමා කතාවේදී ඉතින් දෙන්න පොරොන්දු වුණා. මිනිස්සු බලාපොරොත්තුවෙන් ඉන්නෙත් ඕවා තමයි. දෙන්න පොරොන්දු වුණා. දැන් දෙනකම් බලන් ඉන්නවා. හොඳයි. මිනිසුන්ට ලැබෙන්න ඕන, අපේ පළාතේ මිනිසුන්ගේ ඒවා ගොඩාක් විනාශ වුණා. මගේ කතාවෙදි කිව්වෙත් මං ඒක තමයි. ඉඩම් දෙන්න ඕනේ, ගෙවල් දෙන්න ඕනේ, හැමදෙයක්ම දෙන්න ඕනේ, දැන් වෙලා තියෙන තත්ත්වය එක්ක.
ඒවා දෙනවනම් අපි සතුටු වෙනවා. ඒක දෙන්න ඕනේ. හැම ආණ්ඩුවක්ම මෙහෙමයි. සුනාමි ආවා, විනාශ වුණා. ඒ ගෙවල් හැදුවා. නැවත පදිංචි කළා. රට දියුණු වුණා. ඒ වගේම විනාශ වෙච්ච හැම කාලෙකදිම රට යථා තත්ත්වයට පත්වුණා. ඉතින් මේකෙදිත් රට යථා පත්වෙන්න මේ ආණ්ඩුවට, ජනාධිපතිතුමාට මහන්සි වෙන්න වෙනවා.
LTTE එකෙන් විනාශ වෙච්ච උතුර මහින්ද රාජපක්ෂ මහත්තයා, චන්ද්‍රිකා මැඩම්ලා හැදුවා. ඊළඟට සුනාමිය චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ. මහින්ද මහත්තයගේ කාලේ යුද්දේ තිබ්බ ඒවා හැදුවා උතුර නැඟෙනහිර. නැවත පදිංචි කළා. පාරවල් හැදුවා. ඒ වගේ දේවල් කරන්න ඕනේ ඉතින්. යෝජිත සහන වැඩපිළිවෙළට සහාය දෙනවාදැයි මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් පැවසුවේ,
Òආණ්ඩුවට අපි සහයෝගය දෙන්න ඕනේ නෑනේ. ජනතාව 159ක් ඉන්න හොඳ ආණ්ඩුවක් පත් කරගෙන තියෙනවා. ජේ.ආර්.ගෙන් පස්සේ බිහි වුණු හොඳම ආණ්ඩුව මේ, අපි අඩු-පාඩු පෙන්වා දෙමින් පොරොන්දු ඉටුකරනවා දැයි බලාසිටිනවා”යනුවෙනි.
වසර කිහිපයක් ජාතික සභාවක් ලෙස රජයට සහාය වන ලෙස ජනාධිපතිතුමා කළ යෝජනාව ගැන මාධ්‍යවේදීන් විමසූ අතර චාමර සම්පත් මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පක්ෂ නායකයන් සමඟ සාකච්ජා කර තීන්දුවකට පැමිණිය යුතු බවයි.