ලංකාවට ලැබෙන විදෙස් සහය ගැන UN එක පුදුම වෙයි

dsc08720

භයානක ස්වාභාවික ව්‍යවසනය හමුවේ පීඩාවට පත්ව සිටින මිලියන 2.2කට ආසන්න ජනතාවට සහන සැලසිය යුතු බව ද ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලංකාවේ ජනතාව නැවත නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවද එම සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඔන්ඩ්‍රේ ෆ්‍රාන්ච් (Marc-André Franche) පවසයි.

මූලික ඇස්තුමේන්තුවට වඩා සිදුව ඇති හානිය විශාල බවත්, මෙම හදිසි තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා දිගු කාලීන හා කෙටි කාලීන විසඳුම් ලබාදීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අවශ්‍ය බවත් ඔහු කීය.විපතට පත් මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ආපදා තත්ත්වය ආරම්භයේ සිට ම කටයුතු කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඔන්ඩ්‍රේ ෆ්‍රාන්ච් (Marc-André Franche) එහිදී පැවසීය.

“ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 25%ක පමණ ප්‍රමාණයක් දරිද්‍රතාවට මුහුණ දී සිටිනවා. ඔවුන්ට සහන සැලසීම සිදුකළ යුතු යි. මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ එකමුතුකම සහ පරිත්‍යාගශීලිත්වය මම දැක්කා. මම ඇත්තට ම ඒක අගය කරනවා. සමහර විට මගේ ම රටේ මේ වගේ තත්ත්වයක් ඇති වුණත් මේ වගේ ජනතාවගේ පරිත්‍යාගශීලීත්වයක් දකින්න ඉඩක් නැති වෙන්න පුළුවන්.”

“මෙම ව්‍යසනය ආරම්භයේදී ඉඳලා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජය වගේ ම, ආපදා කළමනාකරණ ඒකකය එක්ක වැඩ කළා. අපි මුලින් ම අවශ්‍ය පිසූ ආහාර වගේ ම පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කරලා දෙන්න කටයුතු කළා.”

“එක්සත් ජාතීන්ගේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයක් තියෙනවා. ඒ හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5ක් ලංකාවේ ඇති වූ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් වෙන් කර තියෙනවා,” ඔහු පැවසුවේ ය.

මේ වන විට අසල්වැසි රටවල් ඇතුළු රටවල් 21ක් ශ්‍රී ලංකාවට බලපෑ ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් ඇති වූ ආපදාවට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉදිරිපත්වී ඇති බවත්, දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සෙසු රාජ්‍යයන් සමග පවත්වාගෙන ගොස් ඇති සම්න්බන්ධකම් ඉන් ගම්‍ය වන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා වැඩිදුරටත් කීය.