මගේ පොත් කියෙව්වම ඔළුවට සමනල් ගැට වැටෙනවලු

544794810 10233358609245344 8027506850772816866 n

මොහාන් රාජ් මඩවල

මොහාන් රාජ් මඩවල නවකතාවක් කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නය අපූරු උත්තරයක් Toxic (ටොක්සික්) කියන නවකතාව තුළින් හොයාගෙන තියෙනවා කියලා මට හිතෙනවා. නවකතාව කියන ශානරය තුළ ටොක්සික් අයිති වෙන්නේ මොන උපශානරයට ද කියන ප්‍රශ්නය අපි තුළ පැනනඟිනවා. Psychoanalytical, Gothic, Mys tery සහ Horror කියන උපශානරවල මිශ්‍රණයක් ලෙස මේක ගන්න පුළුවන්. ඒත් කිසිම අවස්ථාවක මේ නවකතාවෙ ඔබ මනෝ විද්‍යාත්මක මූලධර්ම අමුවෙන් ඉදිරිපත් කරන්නෙ නැහැ.

ඔව්. ඔයා කියන එක හරි. මෙහෙමයි, ඇත්තටම මේක කිසියම් ආකාරයක සයිකොලොජිකල් හරයක් තියෙන නවකතාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. හැබැයි, මම කොහොමවත් උත්සාහ කළේ නැහැ, මේක සයිකොලොජිකල් නවල් එකක් කියලා මනෝවිද්‍යාත්මක කාරණා තියරි විදියට, නැත්නම් අමුවෙන් ඉදිරිපත් කරන්න. මට ඕන වුණේ වින්දනාත්මක අගයක් සහිතව මේක යටට කිමිදිලා බැලුවොත් එහෙම, ඒ හරයන් අවබෝධ කරගන්න පුළුවන් විදිහට, පාඨකයාට ඉඩ හරින්න. මේ නවකතාව කොහෙත්ම අමුවෙන් සයිකොලොජිකල් කාරණා ඉදිරිපත් කරන්න ගත්ත උත්සාහයක් නෙමේ.

මම හරිම උනන්දුවෙන් කරන්න උත්සාහ කරන දෙයක් තමයි ගැඹුරු දෙයක් සරලව කියන එක. මම හැමතිස්සෙම හිතන්නේ ගැඹුරු දෙයක් සරලව ඉදිරිපත් කිරීම තමයි ඕනෑම කලාකරුවකුට තියෙන ලොකුම අභියෝගය කියලා. ගැඹුරු අදහසක් ගැඹුරෙන් කියන එක ලේඛකයකුට ලේසියි. නමුත් ලේඛකයකුට තියෙන ලොකුම අභියෝගය තමයි ගැඹුරු ධාරණාවක්, ගැඹුරු අදහසක් සරලව ඉදිරිපත් කරන එක. මං ඒක හැමතිස්සෙම ට්‍රයි කරන කෙනෙක්. හැබැයි, ඒක නිසා මට සිද්ධ වෙන දැවැන්ත හානියකුත් තියෙනවා.

මම පෞද්ගලිකව හිතනවා මොහාන් නියෝජනය කරන්න කැමැති නවකතාව කියන කලා අංගයේ ජනප්‍රිය ධාරාව කියලා. මේ ජනප්‍රිය ධාරාවේ කලාව තුළ තියෙන පොදු ලක්ෂණයක් තමයි එහි තියෙන සරල බව.

Toxic නවකතාව ඊට හාත්පසින්ම වෙනස් මඟක් ගන්නවා. මොහාන්, තේමාත්මක මෙන්ම ආඛ්‍යානමය ගැඹුරක් එහි අඩංගු කරනවා. පාඨකයකුට මේ ගැඹුර තේරුම්ගන්න හැකිවෙයිද කියන අවදානම දරාගන්න පුළුවන් නිර්භීත පෞරුෂයක් ති‍ෙයන ලේඛකයකුට විතරයි.?

ඔව්, ඔයා තව වැදගත් කාරණාවක් කියනවා. ඒක තමයි මේකෙ තියෙන සරල බව. මම හරිම උනන්දුවෙන් කරන්න උත්සාහ කරන දෙයක් තමයි ගැඹුරු දෙයක් සරලව කියන එක. මම හැමතිස්සෙම හිතන්නේ ගැඹුරු දෙයක් සරලව ඉදිරිපත් කිරීම තමයි ඕනෑම කලාකරුවකුට තියෙන ලොකුම අභියෝගය කියලා. ගැඹුරු අදහසක් ගැඹුරෙන් කියන එක ලේඛකයකුට ලේසියි. නමුත් ලේඛකයකුට තියෙන ලොකුම අභියෝගය තමයි ගැඹුරු ධාරණාවක්, ගැඹුරු අදහසක් සරලව ඉදිරිපත් කරන එක. මං ඒක හැමතිස්සෙම ට්‍රයි කරන කෙනෙක්. හැබැයි, ඒක නිසා මට සිද්ධ වෙන දැවැන්ත හානියකුත් තියෙනවා. මොකද සරල ආකෘතියෙන් යමක් ඉදිරිපත් කරනකොට අර උඩ තියෙන රසය විතරක් අරගෙන යට තියෙන ගැඹුර ගොඩක් අයට අහු නොවෙන්න පුළුවන්. මොකද, මිනිස්සු දේවල් තේරුම් ගන්නේ තමන්ගෙ නැණ පමණින්. එහෙම තේරුම් ගැනීම සඳහා තමයි මං මගේ නිර්මාණ තුළ ඉඩ ඇරල තියෙන්නෙ. ඒ හින්දා අර සරල ආකෘතිය යට තියෙන ගැඹුර හොයාගත්තොත් ටොක්සික් නවකතාව වුණත් රහට විඳින්න පුළුවන් වෙයි.

ලංකාවේ ගෑනු ගැන ලියූ ජනප්‍රිය නවකතාකරුවා කරුණාසේන ජයලත්. ඔහු බොහෝවිට ලිව්වෙ ආදරය අහිමිවීම සහ ආර්ථික, සාමාජීය ප්‍රශ්නවලින් හෙම්බත් වුණු ගෑනුන්ගෙ වේදනාව තරමක් ශෘංගාරකරණය කිරීමෙන්. මොහාන්ගේ ආඛ්‍යානය වෙනස්. ඔයා ගෑනුන්ව මනෝ විශ්ලේෂණාත්මක කියවීමකට භාජනය කරනවා. ඔවුන්ගෙ ආශාව කියවන්න උත්සාහ කරනවා. අපි මතුපිටින් දකින ආදරය, වෛරය, අතහැරීම, උදාසීන වීම වාගේ මානව චර්යාවන් පසුපස ඇති අවිඥානය කියවන්න උනන්දු වෙනවා. එතැනදි මොහාන් අධි යථාර්ථවාදි අමුද්‍රව්‍ය, පුරාවෘත්ත විතරක් නෙමෙයි සුරංගනා කතා වුණත් ප්‍රයෝජනයට ගන්නවා.

මම ටොක්සික් නවකතාවේ ආඛ්‍යානය හදාගත්තෙත් ඒ සඳහාමයි. මං නවකතා හතක්, අටක් ලියලා තිබ්බට මේ නවකතාවේදි තමයි මං ප්‍රථම වතාවට උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් නවකතාවක් ලියන්නේ. ඒ කියන්නේ මේ ටොක්සික් නවකතාවේ අහිංසා තමයි ප්‍රධාන චරිතය. ඇගේ දෘෂ්ටිකෝණයෙන් තමයි නවකතාව ගලාගෙන යන්නේ. එතකොට ඇය තමයි මේ කතාවේ වින්දිතයා බවට පත්වෙන්නෙ. එයාගේ චරිතය ඇතුළට එබෙන්න නම් මට ඇය මූලික කරගෙන ලියන්න සිද්ධ වෙනවා. එහෙම ලිව්වොත් තමයි, ඇය හිතන විදිහ, හැසිරෙන විදිහ, ඒකට හේතුකාරණා මට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි මම ඒ උපක්‍රමය භාවිත කළේ.

මේ වගේ මතභේදයට තුඩු දෙන තේමාත්මක ගැඹුරක් ඇති නවකතාවක් ලිව්වම ඒ පිළිබඳව ඇතිවන සංවාදයෙන් මිදිලා කතුවරයාට නිහඬව ඉන්න එක තරමක් අසීරුයි. මේවාගේ අවස්ථාවල කතුවරයා අදහස් කරන දේ (Author’s intention) පාඨකයා වෙතට ළඟාවෙනව ද කියන එක ගැන සැකයක් මොහාන්ට ඇති වෙනව ද? මොහාන් ඒ ගැන මැදිහත්වීමක් කරන්න පෙලඹෙනව ද?

අපෝ නෑ. නවකතාවක් ලියල ඉවර වුණාට පස්සේ ඒකට මැදිහත්වීම් කරන්න මං ආසම නෑ. මම ආසයි ඒක දිහා ඈතට වෙලා බලාගෙන ඉන්න. එතකොට තමයි ඒක මිනිස්සු දකින විදිහ ගැන මට ලස්සනට බලන්න පුළුවන් වෙන්නෙ. ඒත් එක වෙලාවකට දුක හිතෙනවා තමයි, අයියෝ මං කියන්න හදන දේ මේ සමහරු අල්ලගෙන නෑ නේද කියලා. කමක් නෑ. ඒකත් ඉතින් හොඳ අභ්‍යාසයක්. මොකද ඇඟිල්ලෙන් ඇන ඇන තමන් කියන්න ගියේ මේකයි කියලා මිනිස්සුන්ට කියලා දෙන්න මම ආස නෑ. ඒක කියවන අය තමන්ගේ නැණ පමණින් අවබෝධ කරගන්න ඕන දෙයක්. ඉතින් ඒකට මං ඉඩ ඇරලා තියෙන්නේ.

පාඨකයෙක් විදියට මට හිතෙනවා ටොක්සික් නවකතාව තල කිහිපයක කියවීම් කරන්න පුළුවන් කෘතියක් කියලා. මේ නවකතාවේ එන ප්‍රධාන චරිතය වන අහිංසා “Dissociative Identity Disorder” (DID) ලෙස හැඳින්වෙන මානසික රෝගයෙන් පෙළෙනවා. ඇය එක් පුද්ගලභාවයක සිට වෙනස් පුද්ගලභාවයකට මාරුවීම, මතක හිස්භාවය (memory gaps) හා හැසිරීම් වෙනස්වීම ආදී මානසික රෝගවලින් පෙළෙනවා. එහෙත් කතුවරයා කිසිම මොහොතක මැදිහත් වෙන්නේ නෑ ඒ ලෙඩ රෝග පිළිබඳ අපට කියන්න. එනිසා ඇය මේ සමාජයේ ඉන්න බොහෝ ගැහැනුන් මෙන් නීරෝගි කාන්තාවක් සේ ජීවත් වෙනවා. විටක මේ මනෝභාවයන් අතිශයින්ම කුරිරුයි, දරුණුයි. ඇයගේ එකම ආගම පළිගැනීමයි. විටක ඇය හරිම ප්‍රේමණීයයි. ශෘංගාරාත්මකයි. මේ චරිත ඔබ හොයාගන්නෙ මේ සමාජයෙන් ද? නැත්නම් වෙනත් පරිකල්පනීය මානයකින් ද?

ඇත්තටම සමාජය කියලා කියන්නේ විශ්වවිද්‍යාලයක්. හරියට මේ සමාජය කියන එක ස්ටඩි කළොත් එහෙම, අපිට ඒකෙ ඉන්න මිනිස්සු ගැන, ඒකෙ වටපිටාව ගැන මාර දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ මිනිස්සු ස්ටඩි කරගෙන ගියොත් එහෙම, මිනිස්සුන්ගේ චරිත ලක්ෂණ ගැන, ඒ චරිත ඒ විදියට හැසිරෙන්නෙ ඇයි කියන එක ගැන අපිට පුදුමාකාර විදිහට ග්‍රහණය කරගන්න පුළුවන්. ඒකයි මං කිව්වෙ සමාජය කියන්නෙ ඇත්තටම විශ්වවිද්‍යාලයක් කියලා. හැබැයි මම මගේ නිර්මාණවලට අමුද්‍රව්‍ය ගන්නේ සමාජයෙන් විතරක් නෙමෙයි. සමාජයෙන් ගන්නවා තමයි. නමුත් ඒ තරම්ම බරක්, සමහරක් වෙලාවට ඊටත් වැඩිය බරක් නිර්මාණයක පරිකල්පනය කියන එකට මං තියනවා. ඒ කියන්නෙ නිර්මාණයක පරිකල්පනය කියන එක මං අතිශයින් විශ්වාස කරන කෙනෙක්. සමහරක් වෙලාවට නිර්මාණයක මේ පරිකල්පනය කියන එක සියයට හැට හැත්තෑවටත් වඩා වැඩිවෙනකොට, කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා පොළවේ පය ගහල ඉන්න චරිත ද කියල. නැත්නම් මේවා ඇත්තටම මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් ද කියලා. එහෙම නිර්මාණ විඳිනකොට තමයි සමහරු කියන්නෙ, මේ ලියපු මිනිහට පිස්සු කියලා.

නවකතාවක් ලියල ඉවර වුණාට පස්සේ ඒකට මැදිහත්වීම් කරන්න මං ආසම නෑ. මම ආසයි ඒක දිහා ඈතට වෙලා බලාගෙන ඉන්න. එතකොට තමයි ඒක මිනිස්සු දකින විදිහ ගැන මට ලස්සනට බලන්න පුළුවන් වෙන්නෙ. ඒත් එක වෙලාවකට දුක හිතෙනවා තමයි, අයියෝ මං කියන්න හදන දේ මේ සමහරු අල්ලගෙන නෑ නේද කියලා. කමක් නෑ. ඒකත් ඉතින් හොඳ අභ්‍යාසයක්.

බලන්න දැන් උදාහරණයකට අරගෙන පැබ්ලෝ‍ පිකාසෝ නැත්තං සැල්වදෝර් ඩාලි වගේ චිත්‍ර ශිල්පීන්. ඒ වගේ අයගෙ නිර්මාණ දිහා බලනකොට අපිට පේනව, ඔවුන්ගේ පරිකල්පනය අපිට හිතාගන්න බැරි තරම් අති විශාල බව. ඒ නිසා තමයි ඒ චිත්‍ර අපිට තේරුම් ගන්න සෑහෙන කාලයක් යන්නේ. නැත්නම්, තවමත් අපි ඒ සමහර චිත්‍ර තේරුම් අරගෙන නැත්තේ. ඒ කියන්නේ, ඒ පරිකල්පනය අපිට ළඟා වෙන්න බැරි තරම් දුරින් තියෙන්නේ. ඒ නිසාම තමයි ඒ වගේ නිර්මාණ බලනකොට, නැත්නම් කියවනකොට අපේ ඔළුවට සමනල් ගැට වැටෙන්නෙ. ඒ නිසාම තමයි සමහර වෙලාවට අපි කියන්නෙ පැබ්ලෝ‍ පිකාසෝ පිස්සෙක් කියලා. සැල්වදෝර් ඩාලි පිස්සෙක් කියලා. මොකද ඒ අයගෙ පරිකල්පනයට අපිට ළං වෙන්න බැරි නිසා. නැත්නම් ඒ අයගෙ පරිකල්පනය අපිට හිතාගන්න බැරි තරම් ඈත නිසා.

සමහර වෙලාවට මගේ නිර්මාණ කියවන අයත් කියන දෙයක් තමයි, මෙයාගෙ නවල්ස් කියෙව්වම ඔළුවට සමනල් ගැට වැටෙනව කියන එක. අනේ මන්ද? මේ ලෝකෙ ඉන්න අපි හැමෝම එක එක විදිහෙ පිස්සො තමයි. හැබැයි මං ඊට වඩා හොදටම පිස්සු තදවෙච්ච පිස්සෙක් වෙන්න ඇති.

ජයන්ත කහටපිටිය(සිළුමිණ පුවත්පතෙනි)