වාහනේට විතරක් නෙවේ ගෙටත් රක්ෂණය හිමි යි.

weather matale house landslide

ගංවතුර බැස ගියද, ඉන් ඉතිරි කළ විනාශය සුළු පටු නොවේ. දර දිය ඇද, ජීවිත කාලයම හරිහම්බ කර ඉදි කළ සිහින නිවහන ඇස් ඉදිරිපිටම මඩ වතුරෙන් යටවී, බිත්ති ඉරිතලා, දේපළ විනාශ වී යන අයුරු බලා සිටීම තරම් වේදනාවක් තවත් නැත. මෙම විනාශයෙන් පසු නැවත නැගී සිටීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම බොහෝ දෙනෙකුට ඇති විශාලතම අභියෝගයයි.

නමුත්, මේ අසීරු මොහොතේ ඔබට ආර්ථිකමය අතහිතක් ලබා දිය හැකි, ඔබ බොහෝ විට නොදන්නා රක්ෂණ ආවරණයක් ඔබ සතුව දැනටමත් තිබිය හැකි බව ඔබ දන්නවාද?

වාහනයට මතක රක්ෂණය – නිවසට අමතක වීම

අපේ රටේ බොහෝ දෙනා තමන්ගේ වාහනයට පූර්ණ රක්ෂණ ආවරණයක් (Full Insurance) ලබා ගැනීමට විශාල උනන්දුවක් දක්වයි. වාහනයක් ගංවතුරකට හසු වුවහොත්, එමගින් අලාභය පියවා ගත හැකි බවට ඔවුන් තුළ අවබෝධයක් ඇත. එහෙත්, කනගාටුවට කරුණ නම්, වාහනයටත් වඩා වටිනා, තමන්ගේ මුළු මහත් ධනයම වැය කර ඉදි කළ නිවස හෝ ව්‍යාපාරික ස්ථානය ස්වාභාවික විපත්වලින් ආරක්ෂා කර ගැනීමට රක්ෂණයක් (Property Insurance) ලබා ගැනීමට බොහෝ දෙනාට අමතක වීමයි.

බොහෝ දෙනෙක් සිතන්නේ තමන්ට එවැනි රක්ෂණයක් නැති බවයි. නමුත් සත්‍යය එය නොවිය හැකිය.

ඔබ නොදන්නා “සැඟවුණු” රක්ෂණය

ඔබ ඔබේ නිවස සාදා ගැනීමට, නිවසක් මිලදී ගැනීමට, ඉඩමක් ගැනීමට හෝ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් සඳහා බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ණයක් (Housing Loan / Mortgage Loan) ලබාගෙන තිබේද? එම ණය මුදල තවමත් ගෙවමින් පවතින්නේද?

එසේනම්, සුබ ආරංචියක් ඇත! බොහෝ දුරට ඔබේ එම දේපළ ගංවතුර ඇතුළු ස්වාභාවික විපත් සඳහා රක්ෂණය කර තිබීමට ඉහළ සම්භාවිතාවක් ඇත.

මෙය සිදුවන්නේ කෙසේද?

බැංකුවක් ඔබට විශාල ණය මුදලක් ලබා දෙන විට, ඔවුන් එම ණය මුදලට ඇපයක් ලෙස තබා ගන්නේ ඔබේ නිවස හෝ දේපළයි. යම් හෙයකින් ගංවතුරක්, ගින්නක් හෝ සුළි කුණාටුවක් වැනි අනතුරකින් එම දේපළ විනාශ වුවහොත්, බැංකුවට ඔවුන්ගේ ණය මුදල අය කර ගැනීමේ අවදානමක් මතු වේ.

මෙම අවදානම අවම කර ගැනීම සඳහා, ණය ලබා දීමේදී අදාළ දේපළ රක්ෂණය කිරීම බැංකු විසින් අනිවාර්ය කොන්දේසියක් ලෙස සලකනු ලැබේ.

මෙහි ඇති වැදගත්ම කරුණ නම්, මෙම රක්ෂණය සඳහා වන වාරික මුදල (Premium) ඔබේ දැනුවත්භාවයෙන් හෝ නොදැනුවත්භාවයෙන්, ඔබේ මාසික ණය වාරිකය තුළින්ම හෝ වාර්ෂිකව ඔබේ ගිණුමෙන් බැංකුව විසින් අය කර ගනු ලැබීමයි. ණය ලබා ගැනීමේ හදිසිය නිසා හෝ ගිවිසුම් නිසි ලෙස කියවා නොබැලීම නිසා බොහෝ ගනුදෙනුකරුවන් තමන්ගේ නිවස රක්ෂණය වී ඇති බවත්, තමන් ඒ සඳහා මුදල් ගෙවන බවත් දන්නේ නැත.

දැන් ඔබ කළ යුත්තේ කුමක්ද?

ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට ගංවතුරෙන් හානි සිදුවී ඇත්නම් සහ ඔබට ක්‍රියාකාරී නිවාස ණයක් පවතී නම්, වහාම පහත පියවර අනුගමනය කරන්න:

බැංකුව අමතන්න: ඔබේ ණය ශාඛාවේ කළමනාකරු හෝ ණය අංශයේ නිලධාරියා වහාම හමුවන්න.

රක්ෂණය ගැන විමසන්න: “මගේ නිවාස ණය ගිවිසුමට අදාළව දේපළ රක්ෂණ ආවරණයක් තිබේද? එහි ගංවතුර ආවරණය (Flood Cover) ඇතුළත්ද?” යන්න පැහැදිලිව විමසන්න.

හානිය දැනුම් දෙන්න: හානිය සිදුවූ බව බැංකුවට සහ අදාළ රක්ෂණ සමාගමට ලිඛිතව දැනුම් දෙන්න.

සාක්ෂි රැස් කරන්න: හානියට පත් නිවසේ, ඉරිතැලීම්වල, විනාශ වූ දේපළවල පැහැදිලි ඡායාරූප සහ වීඩියෝ සාක්ෂි ලෙස තබා ගන්න. ජලය බැස ගිය පසු පිරිසිදු කිරීමට පෙර මෙම ඡායාරූප ගැනීම වඩාත් සුදුසුය.

image 909f7c5bc0

ඔබේ අයිතිය ඉල්ලා සිටින්න

සමහර විට බැංකු නිලධාරීන් කාර්යබහුලත්වය නිසා හෝ වෙනත් හේතූන් මත ඔබට මෙම රක්ෂණ ආවරණය ගැන මතක් නොකරනු ඇත. එබැවින්, ඒ පිළිබඳව විමසීම සහ අදාළ වන්දි ඉල්ලීම සිදු කිරීම ඔබේ වගකීමකි.

මෙය බැංකුවෙන් ලැබෙන තෑග්ගක් නොව, ඔබ විසින්ම මුදල් ගෙවා පවත්වාගෙන යන රක්ෂණ ආවරණයකි. මෙම අසීරු අවස්ථාවේ ඔබේ නිවස නැවත ගොඩනඟා ගැනීමට මෙමගින් විශාල අත්වැලක් ලැබෙනු ඇත. අදම ඔබේ බැංකුව අමතන්න.