අලුතින් එන ඇමරිකන් තානාපති ‘ චීනේ එක්ක‘ ගේමක!

web (3) 797936

ශ්‍රී ලංකාව තුළ චීනයේ වර්ධනය වන මැදිහත්වීම්වලට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ධුරය සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම්කර ඇති එරික් මේයර් පවසයි.ශ්‍රී ලංකාව ඉකුත් සමයේ අත්විඳි ආර්ථික අර්බුදයෙන් සහ විනාශකාරී සුළිකුණාටුවෙන් ගොඩඒමට උත්සාහ කරන බැවින්, වොෂින්ටනය සමුද්‍රීය ආරක්ෂාව, ආර්ථික ප්‍රතිසංස්කරණ කොරහි අවධානය යොමුකරන බවත් හෙතෙම පවසයි.

ප්‍රධාන ගෝලීය නැව් මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම, නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීමට සහ කලාපය තුළ චීනයේ වර්ධනය වන පැවැත්ම ඇතුළු එදිරිවාදී බලපෑම්වලට එරෙහිව සටන් කිරීමට අමෙරිකාව දරණ උත්සාහයේ කේන්ද්‍රීය ස්ථානයක් බවට ලංකාව පත්කරන බවද හෙතෙම පවසයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන එක්සත් ජනපද පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම තම ප්‍රමුඛතාවය වනු ඇතැයි මේයර් පවසා ඇති අතර, 600 කට අධික පිරිසක් මියගොස් ලක්ෂ ගණනක් අවතැන් වූ දිට්වා සුළි කුණාටුව හමුවේ අමෙරිකාව දැක්වූ සහයෝගය පිළිබඳව ද අදහස් දක්වා ඇති අතර, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2 ක හදිසි ආධාර ලබා දී ඇති අතර සහන කටයුතු සඳහා සහාය වීම සඳහා අමෙරිකානු හමුදාවේ උපායමාර්ගික ගුවන් ප්‍රවාහන හැකියාවන් උපයෝගී කර ගෙන ඇති බවත් පැවසූ මේයර්, එය ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පවතින ශක්තිමත් සහ කල් පවතින හවුල්කාරිත්වයේ සාක්ෂියක් ලෙස පෙන්වා දී ඇත.

ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම පිළිබඳව අදහස් දක්වමින්, මේයර් පවසන්නේ, රට “කලාපීය ආර්ථික නායකයකු වීමට සූදානමින් සිටින ඔරොත්තු දෙන රටක්” බවයි, කොළඹ වරාය සඳහා වන පුළුල් කිරීමේ සැලසුම් හෙතෙම උපුටා දක්වා ඇත.

ඉදිරි වසරේදී කොළඹ වරාය භාණ්ඩ හැසිරවීමේ ධාරිතාව දෙගුණ කිරීමට නියමිත අතර, එය ශ්‍රී ලංකාවේ වරාය, සැපයුම් සහ නැව් අංශවල ඇති සැලකිය යුතු හා උපායමාර්ගික අවස්ථාවන් ඉස්මතු කරන බව ද ඔහු පවසයි.

ආර්ථික ස්වෛරීභාවය ජාතික ස්වාධීනත්වයට බැඳී ඇති බව පවසමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සම්බන්ධ ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදුකරගෙන යාමට ශ්‍රී ලංකාවට බලපෑම් කරන බව ද මේයර් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.