සජබ මන්ත්‍රීලා කාලගුණේට යයි

sjb 750x375 2

පසුගිය ආපදා තත්ත්වය ගැන රජයට සහ අනෙකුත් වගකිව යුතු ආයතනවලට ලබා දුන් ලිඛිත හා ඩිජිටල් තොරතුරු ඉල්ලා සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට (දෙසැ. 17) පැමිණියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අජිත් පී. පෙරේරා, නලීන් බණ්ඩාර හා මුජිබුර් රහුමාන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මෙහිදී සඳහන් කළේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දෙන තොරතුරු පාදක කර ගෙන ආපදා ප්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව හඬ නගන බව ය.

තොරතුරු දැන ගැනීමේ පනත අනුව රටේ ඕනෑ ම පුරවැසියෙකුට මෙම වාර්තා ලබාගැනීමේ හැකියාව තිබෙන බව කී මන්ත්‍රිවරයා ව්‍යසනයට වගකිය යුතු පුද්ගලයන්ගේ වගවීම පිළිබඳව සොයා බැලීමට එම තොරතුරු යොදා ගන්නා බව පැවසීය.

රජය තොරතුරු වසන් කරමින් රාජ්‍ය ආයතනවල නිලධාරීන් බියවද්දා තිබෙන බව ත් ඒ අනුව නිල නිවේදන සියල්ල ලබා දෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලා සිටි බව ත් පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර කීවේ ය.

ආපදා තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය ආයතන සිදු කළ මැදිහත්වීම දැන ගැනීමට විපක්ෂයට සහ රටට අවශ්‍ය බව ද මන්ත්‍රිවරයා පැවසීය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සාධනීය ලෙස අවශ්‍ය මැදිහත්වීම ලබා දී තිබෙන බව ත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට එහි ඊළඟ පියවර ගැනීමට තිබූ බව ත් හෙතෙම සඳහන් කළේ ය.

ආපදාවට පෙර ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ධීවර සංස්ථාව, විදුලිබල මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම්වරු, ජල සම්පාදන මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනවලට අවශ්‍ය තොරතුරු ලැබුණේ දැයි ගැටලුවක් ඇති වන බව ද ඔහු කීවේ ය.

මෙම ආයතන සියල්ල එක්ව ආපදාවට මුහුණ දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ආකාරය දකින්නට නොලැබුණු බව ත් එසේ විධිමත් පියවරයන්ට එළැඹියේ නම් ජීවිත හානි අවම කර ගැනීමට තිබූ බව ත් නලීන් බණ්ඩාර පැවසීය.

රජය පසුගිය 25 සිට 27 දක්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන දැදුරුඔය ජලාශය කළමනාකරණය කළේ, නම් හලාවත නගරය, හලාවත රෝහල, බිංගිරිය, පඬුවස්නුවර, වාරියපොළ, නිකවැරටිය හා කොබෙයිගනේ වැනි ප්‍රදේශ ජලගැලීම්වලින් බේරා ගැනීමට තිබූ බව ද මන්ත්‍රිවරයා සඳහන් කළේ ය.