දයාසිරි චාමරට අමතයි

dayasiri 1200px 2023 05 24

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මහ­ලේ­කම් පාර්ලි­මේන්තු මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර විසින් පාර්ලි­මේන්තු මන්ත්‍රී චාමර සම්පත් දස­නා­ය­කට හදිසි දුර­ක­තන ඇම­තු­මක් දී තිබේ. පසු­ගිය 14 වැනි දා ඩුබායි සිට දයා­සිරි ජය­සේ­කර විසින් මෙම දුර­ක­තන ඇම­තුම ලබාදී ඇති බව සඳ­හන්.

එදින ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ මූල­ස්ථා­නයේ පැවති රැස්වී­ම­කදී චාමර සම්පත් දස­නා­යක මන්ත්‍රී­ව­රයා විසින් දයා­සිරි ජය­සේ­කර මන්ත්‍රී­ව­ර­යාගේ මන්ත්‍රී ධුරය සම්බ­න්ධ­යෙන් කරන ලද අද­හස් දැක්වී­මක් පිළි­බඳ අදාළ වීඩියෝ පට­යක් දයා­සිරි මන්ත්‍රී­ව­ර­යාගේ හිත­ව­තුන් දෙතුන් දෙනෙකු විසින් වට්ස්ඇප් මාර්ග­යෙන් ඩුබා­යිහි සිටි දයා­සි­රිට යොමු කර තිබෙ­නවා. එම වීඩි­යෝව බැලී­මෙන් අන­තු­රුව දයා­සිරි, චාමර සම්පත්ට දුර­ක­ත­න­යෙන් කතා කොට තිබේ.

ඊට පෙර සමගි ජන බල­වේ­ගයේ මහලේකම් රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර විසින් මැති­ව­රණ කොම­සා­රිස් ජන­රාල්ට යොමු කරන ලද ලිපි­යක් වට්ස්ඇප් මාර්ග­යෙන් දයා­සිරි, චාමර සම්පත්ට එවා ඇත. සමගි ජන බල­වේ­ගයේ මහ­ලේ­කම් විසින් මැති­ව­රණ කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යාට යවන ලද ලිපි­යක පිට­ප­තක් මෙසේ දයා­සිරි විසින් එවා ඇති බව සඳ­හන්. එම ලිපියේ සඳ­හන් වන්නේ 2024 පාර්ලි­මේන්තු මහමැති­ව­ර­ණය සඳහා ඍජු­වම තරග කළ දේශ­පා­ලන පක්ෂ හෝ සහ වෙනත් කණ්ඩා­යම් දේශ­පා­ලන පක්ෂ සමඟ සන්ධා­න­ග­තව තරග කරනු ලැබීම සනාථ කිරීම පිළි­බ­ඳ­වයි.

එහි දක්වා ඇත්තේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ලේකම් දයා­සිරි ජය­සේ­කර කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් සමගි ජන බල­වේ­ගය සමඟ ඇති කර­ගත් එක­ඟතා ගිවි­සු­මක් ඇතිව සමගි ජන බල­වේ­ගයේ පක්ෂයේ දුර­ක­ත­නය ලාංඡ­නය යටතේ තරග කළ බවයි. ඒ අනුව ජය­සේ­කර මන්ත්‍රී­ව­රයා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය නියෝ­ජ­නය කරන මන්ත්‍රී­ව­ර­යෙක් ලෙස තේරී පත් වී ඇති බව වැඩි­දු­ර­ටත් සඳ­හන් කරන බවද රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර සමගි ජන බල­වේ­ගයේ මහලේක­ම්ව­රයා මැති­ව­රණ කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යාට යොමු කර ඇති ලිපියේ සඳ­හන් ය.

මේ ලිපිය වට්ස්ඇප් මාර්ග­යෙන් යොමු කිරී­මෙන් අන­තු­රුව චාමර සම්පත්ට දුර­ක­ත­න­යෙන් කතා කළ දයා­සිරි පවසා ඇත්තේ “ඔයා එදා පක්ෂ මූල­ස්ථා­න­යේදී කරපු කතා­වට මං ඔන්න සමගි ජන බල­වේ­ගයේ මහ­ලේ­කම් මැති­ව­රණ කොම­සා­රිස් ජන­රාල්ට යවපු ලියුම එවුවා. එත­කොට මම ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය නියෝ­ජ­නය කරන මන්ත්‍රී­ව­ර­යෙක් ලෙස තමයි පිළි­ගෙන තියෙන්නේ. ඒක නිසා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට අදාළ තන­තුරු සම්බ­න්ධ­යෙන් මට ගැට­ලු­වක් වෙන්නේ නෑ. ඒක මේ ලියු­මෙන් පැහැ­දි­ලිව පේනවා. ඔයා ගෑස් සිලි­න්ඩ­ර­යෙන් තමයි තරග කළේ. මට එල්ල කරන තර්ක­යට අනුව එත­කොට ඔයා­ටත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ තන­තු­රක් ගන්න බෑනේ.

ඒ නිසා මේවා දැන­ගෙන කතා කරන්න…” යනු­වෙන් දයා­සිරි ජය­සේ­කර, චාමර සම්පත්ට ප්‍රකාශ කර ඇති බව සඳ­හන්.

එම දුර­ක­තන සංවා­ද­යෙන් අන­තු­රුව චාමර සම්පත්, දයා­සි­රිට ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකා­වට පැමිණි පසු හමුවී මේ පිළි­බඳ සාකච්ඡා කරමු කියායි.