මෝදිගෙන් අනුරට අතිවිශේෂ පණිවිඩයක්.රටට සහන පැකේජයක්

604539301 1451081926388032 7866931475170218586 n

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා හදුනාගෙන නැවත ගොඩනැඟීමේ හදිසි අවශ්‍යතාව මත තවදුරටත් සහාය ලබා දීමට ඉන්දියාව කැප වී සිටින බවත්, ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ප්‍රකාශ කළේය. එයින් ඩොලර් මිලියන 100ක් ඉන්දීය ආධාර වන අතර ඉතිරිය පහසු පොලී අනුපාතිකයක් මත ලබා දෙන ණය මුදලක් වනු ඇත.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වනු ඇතැ’යි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ප්‍රමුඛ ඉන්දීය රජය විශ්වාස කරන බව පැවසූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ සමඟ ඉන්දියාව අන් කවරදාටත් වඩා ශක්තිමත්ව අත්වැල් බැඳගෙන සිටින බවද ප්‍රකාශ කළේය.

මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුව අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විශේෂ ලිපිය ජයපති අතට

603665280 1451081943054697 7150080219859678847 n

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද විශේෂ ලිපියද මෙහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සහන සැලසීමට පළමුවෙන්ම එක්වෙමින් ජනතාව මුදා ගැනීමේ, සහන සැලසීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය දැක් වූ හෘදයාංගම සහයෝගය මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘතවේදීව අගය කළේය.

ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සහ ඖෂධ, අහාර ඇතුළු මානූෂිය ආධාර සපයමින්ද, විනාශ වූ මාර්ග ප්‍රතිසංස්කරණය, මහිංයගණය රෝහල ඇතුළු රෝහල් පද්ධතිය යථාවත් කිරීම ආදී යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන්ද ඉන්දීය රජය දැක් වූ සුවිශේෂී සහාය ජනාධිපතිවරයා කෘතවේදීව සිහිපත් කළේය.

ජනපතිගේ ස්තූතිය

604539301 1451081926388032 7866931475170218586 n

එමෙන්ම අසීරු සෑම අවස්ථාවකම ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහාය සිහිපත් කළ ජනාධිපතිවරයා, ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාන්විතය වෙනුවෙන් දිගු කළ සහෝදරත්වයේ හස්තය ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇති බව සඳහන් කළේය.

මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව සමග ශක්තිමත්ව රැඳී සිටිමින් ශ්‍රී ලංකාවට යළි ගොඩනැඟීම සඳහා ලබා දිය හැකි සියලු සහාය ලබා දීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තමා වෙත උපදෙස් ලබා දුන් බවත්, එම කටයුතු පිළිබඳ සොයා බැලීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස තමා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක් වූ බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර නිල හමුවෙන් අනතුරුව දෙරටේ දූත පිරිස අතර සාකච්ඡා ආරම්භ කෙරුණු අතර දෙරට අතර සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නඟාසිටුවීමට අඛණ්ඩ සහාය ලබා දෙන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

සහන පැකේජය

604490848 1451082216388003 7842353487619876712 n

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන සහන පැකේජය සංකේතවත් කරමින් කිලිනොච්චිය ඒ-35 මාර්ගයේ බේලි පාලම විවෘත කිරීමද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා – ඉන්දීය විදේශ අමාත්‍යවරුන්ගේ අතින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය.

ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහභාගී වී සිටි අතර, ඉන් අනතුරුව පැවති දූත මට්ටමේ සාකච්ඡාව සඳහා ඉන්දීය රජය නියෝජනය කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පුනිත් අග්‍රවාල්, නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් සත්‍යංජල් පාණ්ඩේ සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-12-23