රැඳවූවන් මාර්ගයෙන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මේ වසරේදී පමණක් ගෙනා ජංගම දුරකතන 600ක් පමණ නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ.
කුඩා ප්‍රමාණයේ ජංගම දුරකතන සියල්ලම බන්ධනාගාරගත වන පුද්ගලයන් ගුද මාර්ගයේ සඟවාගෙන බන්ධනාගාරය ඇතුළට පැමිණි අවස්ථාවලදී කරන පරීක්ෂා කිරීම් මඟින් මේ දුරකතන 600 සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව ඇත.
මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට අධිකරණයෙන් දඬුවම් ලැබී බන්ධනාගාරගත වන මෙම පුද්ගලයන් සිය ගුද මාර්ගයේ ජංගම දුරකතනය සඟවාගෙන පැමිණ පසු ඊළඟ නඩු වාරයේදී ඇප ලබාගැනීමට හෝ අදාළ දඩ මුදල ගෙවීමට තැරව්කරුවන් ඉදිරිපත් වේ. ජංගම දුරකතනය බන්ධනාගාරය තුළට රැගෙන යෑම වෙනුවෙන් එම පුද්ගලයාට රුපියල් 90000ක පමණ මුදලක් ගෙවන බවටද තොරතුරු අනාවරණය වී ඇත. මෙම ජංගම දුරකතන අදාළ රැඳවූවන් අතට පත් කිරීමේ දී බන්ධනාගාරයේ ඇතැම් නිලධාරීන්ගේ ද සහාය ද ලැබී ඇති අවස්ථා තිබූ හෙයින් එවැනි නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග පවා ගෙන ඇති බව ද බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.