පොලිස් නිලධාරීන් විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ රට පුරා දැනුවත් කිරීම් රැසක් පැවැත්වීමට ජාතික පොලිස් කොමිෂන් සභාව කටයුතු කර තිබේ. සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය, සැකකරුවකුට ඇති අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස දන්වමින් පොලිස්පති චක්‍රලේඛ 13කට වැඩි සංඛ්‍යාවක්ද මේ වන විට නිකුත් කර තිබේ. පසුගිය කාලයේදී අවස්ථා ගණනාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය මඟින්ද වධහිංසා පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු තීන්දු දීමේදී පොලිස් කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳ අවධානය යොමු කර තිබිණි.
පොලිස් කොට්ඨාස ඉලක්ක කරගනිමින් මේ දැනුවත් කිරීම් සිදු කිරීමට කොමිසම කටයුතු කරමින් සිටින අතර, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර ඇතුළු දිස්ත්‍රික් ගණනාවක් මේ වන විට ආවරණය කිරීමටද ඔවුන් කටයුතු කර ඇත. පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් පිළිබඳ විශේෂ දේශන පැවැත්වීමත්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඔවුන්ගේ රාජකාරි කටයුතුවලට මෙන්ම උසස්වීම් ඇතුළු සියල්ලට බලපාන ආකාරයත් මේ දැනුවත් කිරීම්වලදී වෙන වෙනම පැහැදිලි කරන බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.