හිරු වෙනුවෙන් පාරට බහින්න සමන් රත්නප්‍රිය සුදානම් වෙයි

සමන් රත්නප්‍රිය

රටේ ජනමාධ්‍ය මර්ධනය කළ සියලුම ආණ්ඩුවලට පැවැත්මක් නොතිබූ බවත්, එවැනි ආණ්ඩු නිශ්චිත ධුර කාලයට පෙර යෑමට සිදුවූ බවත්, සමන් රත්නප්‍රිය පවසනවා.

ඊයේ (28) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාක්ච්ඡාවකට සහබාගී වෙමින් ඔහු මේ බව කියා සිටියා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය වැඩිදුරටත් කියා සිටියේ මාධ්‍ය මර්දනයකට ආණ්ඩුව පැමිණියහොත් එයට විරුද්ධව ජනතාව සමඟ පාරට බසින බවයි.

“අද වෙනකොට අලුත්ම තත්ත්වය තමයි මාධ්‍ය ජාලයක් මර්ධනය කරන්න පොලිසිය ලවා පැමිණිල්ලක් යවලා තියෙනවා TRC එකට, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට. ආණ්ඩුවේම ගෝල බාලයෝ තමයි මේවාවල ඉන්නේ. ඉතින් කතා කරගෙන මේවා පැමිණිල්ල කරලා උත්තරෙත් අරගෙන විභාගත් කරලා මාධ්‍ය මර්ධනය කරන්න ආණ්ඩුව ලෑස්ති වෙනවා නම් ඒක විහිළුවක් කියන එක මතක තියාගන්න. මේ රටේ ජනමාධ්‍ය මර්ධනය කරපු හැම ආණ්ඩුවක්ම ඉක්මනින් ගෙදර ගියා. වැඩිකල් හිටියේ නැහැ. ඉතින් ඒක නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයත්, වර්තමාන ආණ්ඩුවත්,ඒ අයගේ ගෝල බාලයොත් මේක හොඳට මතක තියාගන්න ඕනා. මේ රටේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරලා තියෙනවා. ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරලා තියෙනවා තියෙනවා. මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ අංක 19 වගන්තියේ (UN) එකේ මේක හරි පැහැදිලිවම කියලා තියෙනවා. තොරතුරු දෙන්න පුළුවන්, තොරතුරු ගැනීමේ අයිතියත් තියෙනවා. මේ දෙකම තහවුරු වෙන්න ඕනා. ජනමාධ්‍ය මේකෙ විශාල වැඩ කොටසක් කරනවා. ඊළඟට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එකේ 14(1) වගන්තියේ පැහැදිලිවම තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරලා තියෙනව, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරලා තියෙනවා. ජනමාධ්‍යයෙන් මේක කරන්නේ. ජනතාව තොරතුරු දෙන්නේ. ඉතින් මේ තොරතුරවල වැරැද්දක් තියෙනවා නම් කතාකරන්න. ඒක නියාමනය කරන්න, කතා කරලා ජනමාධ්‍යත් එක්ක ඒවට අවශ්‍ය දේවල් කරන එක වෙනම කාරණයක්. හැබැයි ජනමාධ්‍යය මර්ධනය කරන්න ආණ්ඩුව ලෑස්ති වෙන්න එපා. එහෙම වුණොත් මේ රටේ වෘත්ති‍ය සමිති ව්‍යාපාර විදියට, දේශපාලන පක්ෂ විදියට මේ තත්ත්වයට එරෙහිව අපි පාරට බහින්න ඒක ආණ්ඩුවට වළක්වන්න හම්බ වෙන්නේ නෑ.….. ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවෙතත් මේ පිළිබඳව ජන මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුවක් වශයෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්පුර්ණයෙන්ම ආරක්ෂා කරන බවත් මාධ්‍ය මර්ධනයට කිසිඳු පියවරක් නොගන්නා බවත්, නමුත් ලබා දී තිබෙන නිදහස භාවිතා කරමින් මාධ්‍ය ආයතනවලට බොරු ප්‍රචාරය කිරීමට හෝ අදහස් විකෘති කර රට තුළ කෘතීම ව්‍යාකුල තත්වයක් ඇති කිරීමට හෝ ඉඩ නොදෙන බවයි.