“පච මල්ල වෙනුවට සහන මල්ල දෙන්න” හුස්ම රැගෙන මහියංගනයට ගිය සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා

Sajith Premadasa

සුළි කුණාටුවෙන් අනාථ වූ ජනතාව දැන් බොරු පොරොන්දුවලින් ද අනාථ වෙලා

දිට්වා සුළි කුණාටුව නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාව අවතැන් වී ඇති බවත් මේ ජනතාව වෙනුවෙන් සහන දෙන බවට පාර්ලිමේන්තුවේ කිව්වත් තවමත් ඒ සහන නොමැති බවත් සුළි කුණාටුවෙන් අනාථ වූ ජනතාව බොරු පොරොන්දුවලින් අනාථ කර ඇති බවත් කියපු සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවත් අවතැන් වූ ජනතාව සහන කුණාටුවේ වින්දිතයන් නොකළ යුතු බවත් කෝටි ගණනින් සහන දෙනවා කිව්වත් අද වන විට ඒ කිසිවක් සිදු නොවී ඇති බවත් දිට්වා සහන කුණාටුවට ජනතාව හසුවී පීඩාවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පච මල්ල වෙනුවට සහන මල්ල දෙන්න

ඡන්ද කාලය මෙන්ම පච මල්ලක් ඉදිරිපත් නොකර මේ ආපදා අවස්ථාවේ විපතට පත් ජනතාව සමග සෙල්ලම් නොකර කියූ දේ කරන ලෙසත් ජනතාවගේ ජීවිත සමග රජයට සෙල්ලම් කරන්න විපක්ෂය ඉඩ නොදෙන බවත් පාර්ලිමේන්තුවේ කියූ ආකාරයට ජනතාවට හිමි සහන ලබා දිය යුතු බවත් බොරු පොරොන්දු නොදී සැබෑ ලෙසම ජනතාවට සේවය කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය මූලික රෝහලට රු. ලක්ෂ 46.5ක් වටිනා සෞඛ්‍ය උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය. මෙහි දී රු. ලක්ෂ 38ක් වටිනා Dialog+Single Pump Hemodialysis එකක් සහ රු. ලක්ෂ 7.6ක් වටිනා Bluedot RO System 600Gpd යන්ත්‍රයක් ලබා දීම සිදුවිය. වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම පරිත්‍යාග කිරීම සිදු විය.