මතභේදාත්මක හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත්ව තිබීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පවරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මංජුලා විදානපතිරණට විරුද්ධව මෙසේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද එහිමියෝ සඳහන් කළහ.
මොඩියුල සැකසීමේදී මෙම පාර්ශ්ව වගකීම් විරහිතව තීන්දු තීරණ ගෙන ඇතැයි කී සුමංගල හිමියෝ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔවුන් සියලු දෙනාට සිරදඬුවම් ලබාදිය හැකි බව අවධාරණය කළහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර ජාතික ජන බලවේගයේ මැතිවරණ වේදිකාවේ සිටි කථිකයකු බවත්, හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ්අඩවියක් ඇතුළත් කිරීමට කුමන්ත්‍රණය කළ පාර්ශ්ව සම්බන්ධයෙන් ඔහුගෙන් සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බවත් උන්වහන්සේ කීහ.
තමන් වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් පැමිණිල්ල එහි නිලධාරීන් භාරගත් නමුත් පැමිණිල්ල මඟින් චෝදනා එල්ල කර ඇති කිසිදු පාර්ශ්වයකින් මෙතෙක් ප්‍රකාශ සටහන්කරගෙන නැතැයි සුමංගල හිමියෝ පැවැසූහ.
හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ලක්ෂ 05ක් මුද්‍රණය කිරීමට පමණක් රුපියල් කෝටි 10ක් වැය කර තිබෙන බවත් මෙම මොඩියුල 2026 පළමු වාරයට පමණක් දැනට මුද්‍රණය කර තිබෙන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මීට අමතරව කලාප සීයක ගුරුවරු පුහුණු කිරීමේ වැඩසටහන් පැවැත්වීම, සම්පත් දායකයන්ට ගෙවීම, ප්‍රචාරණය හා දැනුවත් කිරීම, වැඩමුළු සංවිධානය කිරීම,ගුරුවරුන්ට ආහාරපාන හා පැමිණීමේ දීමනා ලබාදීම, නිලධාරීන්ගේ ප්‍රවාහන වියදම් දැරීම, මොඩියුලයේ ලේඛක මණ්ඩලට ගෙවීම, පොත සැකසූ ආයතනවලට ගෙවීම ඇතුළු අනෙකුත් වියදම්වලට වැය වූ ගණන අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් ගණනය කර නැතැයිද එහිමියෝ කීහ.
මේ අතර හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත්ව තිබීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය මට්ටමින් විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවැසීය.
අතිරේක ලේකම්වරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් මෙම විමර්ශනයට පත් කර ඇතැයිද ලේකම්වරයා සඳහන් කළේය.
ඒ අනුව මොඩියුල සකස් කිරීමේදී සම්බන්ධ වූ ජාතික අධ්‍යාපන ආයතනය ඇතුළු සියලු ආයතනවල ප්‍රධානීන් හා අංශ භාර නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.