
උදා වූ නව වසර ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවිවේකි වසරක් බවට පත් වී තිබේ. ජාතික මලල ක්‍රීඩා තරග පෙළගැස්මට අනුව මේ වසරේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අන්තර්ජාතික තරගාවලි රැසක් හා ඒ සඳහා තේරීම් තරගද තවත් දේශීය තරගාවලි රැසකටද සහභාගි වීමේ අවස්ථාව උදා වී ඇත. නව වසරේදී ශ්‍රී ලංකාව අන්තර්ජාතික තරගාවලි 19කට සහභාගි වීමට නියමිත අතර, ලෝක මට්ටමේ තරගාවලි 4ක්, ආසියානු මට්ටමේ තරගාවලි 10ක් සමඟ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළද ඒ අතර වේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිත තරගාවලි අතර ජපානයේදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ, ස්කොට්ලන්තයේදී පැවැත්වෙන 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සහ චීනයේදී පැවැත්වෙන 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළ ප්‍රධාන තරගාවලි වන අතර, යොවුන් ඔලිම්පික් උලෙළ (සෙනගාලයේ), අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය (අමෙරිකාවේ), ඇස්ටානා මැරතන් තරගාවලිය (කසකස්තානයේ) සහ වසරේ ලෝක මලල ක්‍රීඩා අවසන් ශූරතාවලියද (හංගේරියාවේ) කැපීපෙනේ.
නව වසරේ දේශීය මලල ක්‍රීඩා තරග පසුගිය 2 සහ 3 දෙදින සුගතදාස ක්‍රීඩාංගණයේ මීටර් 200 ධාවන පථයේදී පැවැත්වීමට සැලසුම් කර තිබිණි. මෙහිදී පිරිමි සහ කාන්තා මීටර් 60, 400, 800, 1500, 3000, මීටර් 60 කඩුලු පැනීම ඉසව්වලට අමතරව උස පැනීම, දුර පැනීම, තුන් පිම්ම සහ යගුළිය දැමීම යන ඉසව්ද පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. එම තරග පෙබරවාරි මස 6, 7, 8 තෙදින චීනයේ ටැන්ජින් නුවරදී පැවැත්වෙන 12 වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් තේරීම් තරගාවලියක් ලෙසද සැලකේ. පෙබරවාරි 21 වැනිදා ජපානයේ ෆුකුඔකාහිදී පැවැත්වෙන 18 වැනි ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලියටද ශ්‍රී ලාංකික ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ එක් වීමට නියමිතය.
දේශීය මලල ක්‍රීඩා තරගාවලි අතර අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලි සඳහා සුදුස්සන් තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන පළමු ජාතික මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි 28 වැනිදා සිට මාර්තු 1 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මාර්තු 1 වැනිදා නිදහස් චතුරස්රයේදී ජාතික තරග ඇවිදීමේ ශූරතාවලිය පැවැත්වෙන අතර, අප්‍රේල් 2 වැනිදා සිට 5 දක්වා දියගමදී ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එය අවුරුදු 20න් පහළ ආසියානු ශූරතාවලිය සඳහා තේරීම් තරගාවලියක් ලෙස සැලකේ. අනතුරුව අප්‍රේල් 25-26 දෙදින දෙවැනි තේරීම් තරගාවලිය දියගමදී පැවැත්වෙන අතර, එය ආසියානු සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළවල තේරීම් තරගාවලියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ සඳහා වන පරීක්ෂණ තරගාවලියක් ජූලි 4 වැනිදා පැවැත්වෙන අතර, 104 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය දියගමදී සැප්තැම්බර් මස 4, 5 සහ 6 දිනයන්හිදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මලල ක්‍රීඩා සංගමයේ නිලවරණ අර්බුදයක් හේතුවෙන් මලල ක්‍රීඩා පරිපාලනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින අතර, දේශීය තරග සංවිධානයේ සංශෝධන සිදු වීමට ඉඩ ඇතැයිද වාර්තා වේ.
සිළුමිණ