විගණකාධිපතිවරයා පත් කිරීම හා ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද නම් ප්‍රතික්ෂේප වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය විගණන සේවා වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවා සංගමයේ ලේකම් ටී. ආර්. ඉඹුල්දෙණිය හා සමස්ත ලංකා රාජ්‍ය විගණන සේවා සංගමයේ ලේකම් තුසිත ප්‍රේමරත්න විසින් පළ කර ඇති ලිපියක් ඇසුරෙන් මේ ලිපිය සකස් කර ඇත.
විගණකාධිපති ධුරයේ සේවයේ නියතුව සිටි ඩබ්.පී.සී. වික්‍රමරත්න වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත 2025 අප්‍රේල් 8 දින විශ්‍රාම යෑමත් සමඟ විගණකාධිපති තනතුර පුරප්පාඩු විය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් රාජ්‍ය විගණන සේවයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ජී.එච්.ඩී. ධර්මපාල දින 14 ක කාලයක් සඳහා වැඩ බැලීමට පත් කරනු ලැබීය. පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(ඇ) (2) ව්‍යවස්ථාව වගන්තිය අනුව ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව, තවත් මාසයක කාලයකට – එනම්: 2025 අප්‍රේල් 23 සිට 2025 මැයි 22 දක්වා – වැඩ බැලීමට පත් කරනු ලැබිණි. එකී කාල පරිච්ඡේදය අවසානයේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 (1) වගන්තිය අනුව අවශ්‍ය සුදුසුකම් සපුරා තිබුණු රාජ්‍ය විගණන සේවයේ නොවන අයකු විගණකාධිපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ව්‍යවස්ථාදායක සභාව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කළද, ව්‍යවස්ථාදායක සභාව අනුමත නොකිරීම නිසා එකී පත් වීම සිදු නොවීය.
කථානායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් ව්‍යවස්ථා සභාවේ අභිමතානුසාරි බලය පිළිබඳ අපි ගරු කරන්නෙමු. එසේ වුවද මෙතෙක් ඉතිහාසයේ පත් වූ සියලු විගණකාධිපතිවරුන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොවුණු අතර, එලෙස බාහිරව පත්ව ආ විගණකාධිපතිවරු කිහිපදෙනෙක් ජාතික විගණන කාර්යාලයට හා රාජ්‍ය විගණනයට දැවැන්ත සේවයක් සිදු කර ඇත. එබැවින් රාජ්‍ය විගණන සේවයෙන් බාහිර පුද්ගලයකු වුවද විගණකාධිපතිවරයා වශයෙන් පත් කිරීම මගින් විගණන කටයුතු ඇතුළු විගණකාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත රාජකාරියට බලපෑමක් සිදු නොවේ.
විගණකාධිපති තනතුරට පූර්ණකාලීනව අයකු පත් කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් 2025 මැයි 23 දින සිට 2025 නොවැම්බර් 22 දින දක්වා තවත් මාස 6ක කාලයක් සඳහා වැඩ බැලීමට ජී.එච්.ඩී. ධර්මපාල නැවත නිර්දේශ කර යවා තිබුණු අතර, ව්‍යවස්ථාදායක සභාව විසින් එකී වැඩ බැලීමේ පත්වීම අනුමත කර තිබිණි. එකී කාලපරිච්ජේදය අවසානයේ නැවත මාස 3ක කාලයක් වැඩ බැලීම සඳහා ජී.එච්.ඩී. ධර්මපාලගේ නම ව්‍යවස්ථා සභාව වෙත ජනාධිපතිවරයා විසින් නිර්දේශ එවා තිබුණු නමුත් ව්‍යවස්ථා සභාව එකී නාම යෝජනාව අනුමත කර නොතිබිණි.
එසේ වුවද ජාතික විගණන කාර්යාලයේ කටයුතු අඩාළ වීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ජී.එච්.ඩී. ධර්මපාල දින 14ක කාලපරිච්ඡේදයක් සඳහා විගණකාධිපති තනතුරේ නැවත වැඩ බැලීමට පත් කර තිබිණි. එකී කාලපරිච්ඡේදයද 2025 දෙසැම්බර් 6 දින අවසන් වීමත් සමඟ ව්‍යවස්ථානුකූලව යම් පුද්ගලයකු වැඩ බැලීමට අනුක්රමිකව පත් කිරීම කළ නොහැකි බැවින් ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. ජයරත්න මිය වැඩ බලන විගණකාධිපති ලෙස මාස 3ක කාලයක් සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර අනුමැතිය සඳහා ව්‍යවස්ථා සභාව වෙත යවා තිබුණු නමුත් එතුමියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශනයක් හා දෙපාර්තමේන්තු විනය පරීක්ෂණයක් පවතින බවට වූ තොරතුරු ඉදිරිපත් වීමක් පදනම් කරගෙන ව්‍යවස්ථා සභාවේ අනුමැතිය නොදුන් බවට වාර්තා වී තිබිණි.
නැවත, 2025 දෙසැම්බර් 14 දින ව්‍යවස්ථා සභාව වෙත ශ්‍රී ලංකා යුද හමුදාවේ අභ්‍යන්තර විගණන අධ්යක්ෂ වශයෙන් සේවය කළ ඕ.ආර්. රාජසිංහ මහතාගේ නම ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර යවා තිබුණද එකී නාමයෝජනාවද හේතු නොදක්වා ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. ඔහුගේ නම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු මාධ්‍ය මඟින් හෝ අනාවරණය නොවීය. කෙසේ වුවද, ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාගේ නිර්දේශ දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ වන විට විගණකාධිපතිවරයකු රහිතව ජාතික විගණන කාර්යාලය පවත්වාගෙන යෑමට සිදුව තිබේ.
මේ සම්පූර්ණ ක්‍රියාවලිය තුළ විධායකයත්, ව්‍යවස්ථාදායකයත්, ජාතික විගණන කාර්යාලය හා රාජ්‍ය විගණන සේවයත්, පමණක් නොව විගණකාධිපති ධුරාපේක්ෂකයන් පවා අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙළ ජාතික විගණන කාර්යාලයේ වෘත්තිය සමිතියක වසර 4ක් තිස්සේ නීති විරෝධිව බලයේ රැඳී සිටින සභාපතිවරයකු හා ලේකම්වරයකු විසින් මෙහෙයවන බවට තොරතුරු අනාවරණය වී තිබේ.
2022 ජනවාරි 25 දින පවත්වන ලද ඉහත සඳහන් වෘත්තීය සමිතියේ වාර්ෂික මහා සභා රැස්වීමේදී වසරක කාලයක් සඳහා පත් වූ සභාපතිවරයා හා ලේකම්වරයා නැවත මහා සභාවක් පැවැත්වීම වසර 4ක් තිස්සේ මඟ හැර, තම නායකත්වය පවත්වාගැනීමට කටයුතු කර ඇත. ඒ අනුව එම සභාපති හා ලේකම් රාජ්‍ය විගණන සේවයේ විධායක නිලධාරීන්ගේ නියෝජනයක් නොවන අතර, හුදෙක් තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් කටයුතු කරන දෙදෙනෙක් පමණි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණුඩුක්රම ව්‍යවස්ථාව මඟින් ව්‍යවස්ථාව, විධායකය හා අධිකරණය සතු බලතල නිර්වචනය කර සමබර කර තිබේ. ඕනෑම රටක රාජ්‍ය පාලනයට එය අවශ්‍ය වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ) ව්‍යවස්ථාව අනුව විගණකාධිපතිවරයා ලෙස පත් කළ යුතු තැනැත්තා නිර්දේශ කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වේ. විගණකාධිපති තනතුර විගණන සේවයේ තනතුරක් නොවන අතර, රාජ්‍ය සේවයේ තනතුරක්ද නොවේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව උපලේඛනගත තනතුරකි. එබැවින් රාජ්‍ය විගණන සේවයේ උසස් වීමක් ලෙස විගණකාධිපතිවරයකු පත් කළ නොහැකිය. වෘත්තීය සමිතියක් විසින් රාජ්‍ය විගණන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු විගණකාධිපති ලෙස පත් කරන ලෙස විවිධාකාරයෙන් බලපෑම් කිරීම නීත්‍යනුකූල නොවන අතර, රාජ්‍ය විගණන සේවයේ නිලධාරීන්ගෙන් අති බහුතරය එවැනි ක්‍රියාමාර්ගවලට විරුද්ධ අය වෙති. එවැනි ක්‍රියාමාර්ග රාජ්‍ය පාලන බලයට හා රටේ උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අභියෝග කිරීමකි.
2014 වසරේ විගණකාධිපති වශයෙන් කටයුතු කළ එච්.ඒ. එස්. සමරවීර විශ්‍රාම යෑමෙන් අනතුරුව එවකට නියෝජ්‍ය විගණකාධිපතිවරයකු වූ ඩබ්.පී.සී. වික්‍රමරත්න වසරකට අධික කාලයක් විගණකාධිපති තනතුරේ වැඩ බැලීමට පත් කරන ලද අතර, 2015දී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් බැහැර සේවයක නිලධාරියකු වූ ගාමිණි විජේසිංහ විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීය. ඒ වන විට දැවැන්ත පරිහානියකට ලක්ව තිබූ විගණකාධිපති දෙපාර්තමේන්තුව නඟාසිටුවීමට ඔහු කළ දැවැන්ත සේවය සමස්ත රාජ්‍ය සේවයම පිළිගන්නා කරුණකි. එබැවින් විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා නිර්දේශ කිරීමේදී මේ කරුණු වෙත ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය හා සැලකිල්ල යොමු විය යුතුය.