හයිලන්ඩ් සන්නාමය යටතේ ආයතනයේ ඉහළම අලෙවි ඉලක්ක සපුරමින්, ඉතිහාසගත ලාභයක් වාර්තා කරමින්, විශිෂ්ට කාර්ය සාධනයක් ලබා දුන් මිල්කෝ සේවක මඩුල්ල ඇගයීමේ අරමුණ ඇතිව කාර්යසාධන දිරිගැන්වීම් ප්‍රදානෝත්සවය පසුගිය දා නාරාහේන්පිට මිල්කෝ කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ. මේ සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සහභාගී විය.
මිල්කෝ ආයතනය 2025 ඔක්තොම්බර් මස වනවිට රුපියල් මිලියන 1490ක ලාභයක් අත්පත් කරගෙන ඇත. මෙය මිල්කෝ ඉතිහාසයේ ලබා ගත් ඉහළම ලාභ අගය වේ. උපයා ඇති ලාභයෙන් කොටසක් කිරි ගොවීන් අතර දිරි දීමනාවක් ලෙස බෙදා දීමට සැලසුම් කර ඇත. එසේම කිරි ගොවීන් 15,000ක් සඳහා 2026 වසරේදී නොමිලයේ කිරි ගොවි ජීවිත රක්ෂණාවරණයක් ලබා දීමට ද සැලසුම් කර ඇත. මිල්කෝ ඉතිහාසයේ ඉහළම විකුණුම් ආදායම් ලැබූ වසර බවට 2025 වර්ෂය පත්ව ඇත.




මෙම අවස්ථාවට සහබාගී වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පළ කළ අදහස්.
“ 2025 මෙවර අයවැය ඉදිරිපත් කළාම ඇහුවා, මේ අයවැයේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා. මේ අයවැයේ අන්තර්ගතය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. අපේ රටේ ජනතාව වැඩවලට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ සම්බන්ධ වෙන ආර්ථික කටයුත්තේ සාධාරණ පංගුව ඒ පුද්ගලයාට ලැබෙන්න ඕනේ. කෙනෙකුගේ දෙයක් වෙන කෙනෙකුට ලැබෙන්නත් බැහැ. වෙන කෙනෙකුගේ දෙයක් තව කෙනෙකුට ලැබෙන්නත් බැහැ. මේක තමයි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. මිල්කෝ එකේ ඒ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා.
කාලයක් තිබුණා පාලකයෝ පහළ සේවකයන්ට ගරු කිරීමක් නැහැ. ඒ සේවකයෝ නිසයි මේ ආයතනය දුවන්නේ කියන හැඟීම නැහැ. අද මිල්කෝ ආයතනය කරන මේ කටයුත්ත අපේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක සමාන්තරයි. හරියටම ගැලපෙනවා. මෙය අගය කළ යුතු වැඩක්. ආයතනය උපයන දේ හැමෝම අතර බෙදී යා යුතුයි.
අපි පහුගිය කාලේ ඉලක්ක හදාගෙන ඒවා සාමූහිකව කතා කිරීමයි සිදු කළේ. මේ පාර ජාතික ඉලක්ක කමිටුව කතා කරගන්නවා. ඒ ඉලක්ක සපුරා ගැනීමේ වගකීම ආයතන ප්‍රධානියා වෙත පවරනවා. ලබන වසරේ සිට අපේ අමාත්‍යාංශය තුළ අපි මේ විදිහට කටයුතු කරනවා. ජනතාව විසින් රජය මෙහෙයවීමේ බලය ආණ්ඩුවට ලබා දීලා තියෙනවා.
මිල්කෝ ආයතනය අද මේ සිදු කළ කාර්යය අනෙකුත් ආයතනවලටත් ආදර්ශයක්.
අපේ රටේ දුෂ්ට ජනමාධ්‍යත් තියෙනවා. ජනතාවගේ උවමනාවලට පිටින් යන ජනමාධ්‍ය ගැනත් ජනතාව බලා ගනියි. එහෙම ගිය ආණ්ඩු ගැනත් ජනතාව බලා ගත්තා. ජනතාවගේ බලයට වඩා බලයක් තවත් නැහැ. මීට කලින් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැහැ. වැඩ කරන මිනිහට වැඩ කරන පංගුව නැහැ. වැඩ නොකරන කට්ටිය වැඩ කරන අයගේ පංගුවත් එක්ක ගොඩ ගහගන්නවා. ඒක තමයි 76 අවුරුද්දේ මූලධර්මය. ”