සෙලෙන්ස්කිගෙන් ට්‍රම්ප්ට ප්‍රසිද්ධියේ අභියෝගයක්

Zelensky issues public challenge to Trump

ඇමරිකානු හමුදා විසින් එක රැයකින් දියත් කළ විශේෂ මෙහෙයුමකින් වෙනිසියුලානු නායක නිකොලස් මදුරෝව අත්අඩංගුවට ගැනීම මේ වන විට ලෝක දේශපාලනයේ අතිශය ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව තිබෙනවා. මෙම අනපේක්ෂිත ක්‍රියාමාර්ගයත් සමඟම, යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත බරපතල සහ අභියෝගාත්මක ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

සෙලෙන්ස්කි ජනාධිපතිවරයා කෙලින්ම ඉල්ලා සිටින්නේ, වෙනිසියුලානු ඒකාධිපති මදුරෝව අල්ලා ගත් ආකාරයටම ඇමරිකානු හමුදාව රුසියාවට යවා, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්වද අත්අඩංගුවට ගන්නා ලෙසයි. සෙනසුරාදා යුරෝපීය ජාතික ආරක්ෂක උපදේශකයින් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුක්‍රේන නායකයා මෙම ප්‍රකාශය සිදු කළා.

ව්ලැඩිමීර් පුටින් යනු යුක්‍රේනයට එරෙහිව හමුදාව මෙහෙයවමින් බරපතල යුද අපරාධ සිදුකරන අයෙකු බවත්, ඔහුට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තු පවා නිකුත් වී ඇති බවත් සෙලෙන්ස්කි මෙහිදී පෙන්වා දුන්නා. යුක්‍රේනය ආක්‍රමණය කර වසර තුනක් ගතවී ඇතත් රුසියාව තවමත් ප්‍රහාර එල්ල කිරීම නවතා නොමැති බැවින්, ට්‍රම්ප් ජනාධිපතිවරයා පුටින් සම්බන්ධයෙන්ද මදුරෝට අනුගමනය කළ ක්‍රියාමාර්ගයම ගත යුතු බව ඔහුගේ බලවත් යෝජනාවයි.

“ඒකාධිපතියන් සමඟ මේ ආකාරයෙන් කටයුතු කළ හැකි නම්, ඊළඟට කුමක් කළ යුතු දැයි එක්සත් ජනපදය හොඳින් දන්නවා”

යනුවෙන් යුක්‍රේන නායකයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

මේ අතර තවත් විශේෂ සිදුවීමක් වන්නේ, වෙනිසියුලානු ජනාධිපතිවරයා සමඟ අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳ සීලියා ෆ්ලෝරස් නිදහස් කරන ලෙස ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලා සිටින රටවල් කිහිපය අතරට රුසියාවද එක්ව සිටීමයි.