වෙන්නප්පුව පොලිස් වසමේදී නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් 06 දෙනෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසියේ විමර්ශන නිලධාරින් විසින් සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඊයේ (07) දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.
එහිදී එම සැකකාරියන් දෙදෙනා ලබන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
එමෙන්ම මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ද ඊයේ (07) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
එම සැකකරු වයස අවුරුදු 47 ක් වන ගාලවත්ත, නැගෙනහිර බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මරණකරුවන් 05 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ හලාවතරෝහලේදී සිදු කර ඇති අතර ඇල්කොහොල් විෂ වීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා.
අනෙක් මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත රෝහලේදී අද (08) දින සිදු කිරීමට නියමිතවයි.
එමෙන්ම මත්පැන් පානය කර රෝගාතුර වූ තවත් පුද්ගලයින් 08 දෙනෙක් මීගමුව හා පේරාදෙනිය යන රෝහල් වල ප්‍රතිකාර ලබමින් පවතිනවා.
වෙන්නප්පුව පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
කසිප්පු භාවිතය සමාජ ව්‍යසනයක්
මේ ආකාරයට කසිප්පු හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයන් සමූහ වශයෙන් මිය යාම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙන බව පෙනේ. 2019 වසරේදී මීරිගම බාඳුරාගොඩ ප්‍රදේශයේ පුද්ගලයෝ එකොළහකට ආසන්න පිරිසක් කසිප්පු භාවිතය හේතුවෙන් මිය ගියහ. එයට පෙර මාතර කැකනදුර ප්‍රදේශයේ පුද්ගලයෝ රැසක් එක පෙළට මියගියහ. 2019 වසරේදී හබරණ කැලේ ඇතින්නියන් හය දෙනකුගේ මළ සිරුරු හමුවූ අතර ඔවුන්ගේ මරණවලට හේතුව විෂක් ශරීර ගතවීම බව හෙළි විය. සමහර සමීක්ෂණ අනුව ලංකාවේ නීත්‍යනුකූල මත්පැන් භාවිතය 50% පමණ වෙද්දී නීති විරෝධී මත්පැන්, එනම් කසිප්පු භාවිතය 500% දක්වා වර්ධනය වී තිබේ. කසිප්පු භාවිතය කෙතරම් සමාජ ව්‍යසනයක් වී තිබේද යන්න එමගින් පැහැදිලි වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ඇතුළු කණ්ඩායමක් මෙයට වසර කිහිපයකට පෙර පැවැත්වූ සමීක්ෂණයකින් පැහැදිලි වූයේ ලංකාවේ ලක්‍ෂ 13කට අධික පිරිසක් කසිප්පු පානය කරන බවය. ඉන් සියයට තිස්පහක් දිනපතා කසිප්පු පානය කරති. 40% සතියට දින තුනක් හෝ පහක් කසිප්පු භාවිත කරන බව එකී සමීක්ෂණයෙන් පැහැදිලි විය. එම සමීක්ෂණයෙන් හෙළි වූ කරුණු අනුව මෙසේ කසිප්පු භාවිත කරන පුද්ගලයන්ගෙන් 25% කටත් වැඩි පිරිසක් වයස අවුරුදු හතළිහට අඩු පුද්ගලයෝය. එසේම නුවරඑළිය, පුත්තලම, කෑගල්ල, මොණරාගල, බදුල්ල, රත්නපුර වැනි දිස්ත්‍රික්කවල කසිප්පු භාවිතය ඉහළ අගයක් ගෙන තිබේ. බදුල්ල, රත්නපුර සහ නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල කසිප්පු භාවිතය ඉහළ ගොස් තිබෙන්නේ වතු ජනයාගෙන් ඒ සඳහා ඉහළ ඉල්ලුමක් තිබෙන හෙයිනි. වතුකරයේ වයස අවුරුදු විස්සට අඩු පිරිමි පුද්ගලයන්ගෙන් සියයට අනූපහක් පමණ කසිප්පු භාවිත කර බවත් මෙම සමීක්ෂණයෙන් හෙළි වී ඇත.