නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිගන්නා බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවත් ගුරු වෘත්තීය සමිති නියෝජිතයෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ ඊයේ (13) ප්‍රකාශ කළහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සමඟ ගුරු වෘත්තීය සමිති නියෝජිතයෝ මේ හමුව ඊයේ (13) සවස පැවැත්විය.
එහිදී නියෝජිතවරු පැවසුවේ 6 ශ්‍රේණියේ විෂය නිර්දේශය නව සංශෝධනයකට ලක් විය යුතු බවයි.
එහිදී ජනාධිපතිවරයා විසින්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී රජය සමඟ එක්ව කටයුතු කරන ලෙස ගුරු වෘත්තීය සමිති නියෝජිතයන්ට ආරාධනා කළේය.

ජාතික අධ්‍යාපන කොමිසම, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපනඥයන්, නීතිඥයන්, විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු සහ අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සමන්විත විධිමත් යන්ත්රණයක අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කිරීමටද ඔවුන් මෙහිදී යෝජනා කළහ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට නම් ගුරුවරුන්ගේ සහ මවුපියන්ගේ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය බවත්, සැකයක් හෝ අවිශ්වාසයක් සහිතව පරිවර්තනයක් සිදු කළ නොහැකි බවත් එහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී රජය සමඟ එක්ව කටයුතු කරන ලෙසද ගුරු වෘත්තීය සමිති නියෝජිතයන්ට ආරාධනා කළේය. රජය ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී ගුරු වෘත්තීය සංගම් නියෝජිතයන් දැනුවත් කළ ජනාධිපතිවරයා පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන නමුත්, මොඩියුල සකස් කිරීමේදී පවතින ගැටලු, ගුරු පුහුණු කිරීමේ ප්‍රමාදය සහ තාක්ෂණික ගැටලු මඟ හරවා ගනිමින් 06 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම 2027 වසරේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවද පැවැසීය. ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ස්මාර්ට් පුවරු, රූපවාහිනී සහ පරිගණක වැනි යටිතල පහසුකම් දෙමවුපියන්ගේ මුදලින් නොව රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය. අන්තර් පළාත් ගුරු මාරුවීම්, උසස්වීම්, වැටුප් විෂමතා සහ විදුහල්පති සේවාවේ ගැටලු පිළිබඳ ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමයේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම, අධ්‍යාපන සමූපකාරයේ සභාපති එම්.ජී.පී.එල්. ලාල් කුමාර, විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ මහත්වරු ඇතුළු ගුරු වෘත්තීය සමිති සංගම් රැසක් නියෝජනය කරමින් නියෝජිතයෝ එක්ව සිටියහ. කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය