ඉම්තියාස් බාකිර් මාකාර් විසින් රචිත,පලස්තීන් කෘතිය එලිදැක්වීම ඊයේ සිදුවිය.එහිදී විශේෂ දෙසුම් කිහිපයක් පැවැති අතර දයාන් ජයතිකල කළ දෙසුම ඉතා තීරණාත්මක සහ ආන්දෝලනාත්මක පුපුරවා හැරීමකින් යුක්ත විය.
‘ඉම්තියාස්ට සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තුව අහිමි වූයේ ඇයි කියන ප්‍රශ්නයට උත්තරය මේ පොතේ තියෙනවා‘ යැයි දයාන් කීවේය. මේ ප්‍රකාශය සරලව බැහැර කළ නොහැකි ඉතාම විශාල බරක් සහිත ප්‍රකාශය කි.දේශපාලනිකව සක්‍රීය ගිනි කන්දක් පුපුරවා හැරීම කි.

ඇත්ත වශයෙන්ම සමගි ජනබලවේගයේ සභාපතිවරයා ලෙසත්,ජේෂ්ඨතම දේශපාලනඥයා ලෙසත් සිටි ඉම්තියාස් එහි ජාතික ලයිස්තුවට නුසුදුසු වූයේ මොන හාස්කමකින් ද?.ඔහු වෙනුවට පත්වූයේ කවුද?ඒ සුජීව සේනසිංහ ය.රහස පටන් ගන්නේත්,රහස හෙලිදරව් වන්නේත් මෙතැනි නි.
පාර්ලිමේන්තුව පත්වන සුජීව සේනසිංහ ශ්‍රීලංකා ඊශ්‍රායෙල් මිත්‍රත්ව සංසදයේ කැඳවුම්කරු ය.

ගාසා තීරයේ සහ මැද පෙරදිග කලාපයේ ඊශ්‍රායෙලය විසින් සිදු කරමින් සිටින ම්ලේච්ඡත්වය ලොව පුරා ප්රගතිශීලි ජනතාවගේ දැඩි විරෝධයක් මතුව ඇති තත්වයක තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ, ශ්‍රී ලංකා-ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය කැඳවීමට එහි කැඳවුම්කරු ලෙස අත්සන් කළේය.
ශ්‍රී ලංකා-ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිත්වය කලක් දැරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක විසින් වන අතර, ඊට මන්ත්‍රීවරුන් 38 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සමන්විත ය. සුජීව එහි කැඳවුම්කරුය. (නමුත් පසුව හෙතෙම සිය අත්සන ඉල්ලා අස්කර ගත්තේ පැමිණි දැඩි විරෝධය නිසාය).කෙසේ වෙතත්,ඉම්තියාස් වෙනුවට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කළේ ශ්‍රී ලංකා-ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ කැඳවුම්කරු වූ සුජීව සේනසිංහ ය.
දයාන් පුපුරවා හැරියේ මේ අභ්‍යන්තර කතාව ද?

සජිත් ප්‍රේමදාස මහතාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස කලක් කටයුතු කළ දයාන් ජයතිලක සජිත්ගේ දේශපාලනික ජාත්‍යන්තර නැමියාව නොදැන සිටිය නොහැක.ඔහු ඊයේ මේ කතාව කියන්නේ ඒ සියල්ල දැනගෙන ය. කලක් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උපදේශකවරයෙකු ලෙසද ඔහුගේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (1990–94) ගැටුම් අධ්‍යයන අධ්යක්ෂවරයා ලෙසද, පසුව ප්‍රේමදාස මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ (1994-2000) ලෙසද කටයුතු කළේය. ඊශ්‍රායලය සම්බන්ධයෙන් එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස තීරණාත්මක තීන්දු ගනු ලබන විට දයාන් ඔහුගේ උපදේශකවරයෙකු ලෙසද ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ද කටයුතු කළේය.

1985/86 සමයේ ඉන්දියාවේදී එල්ටීටීඊ සාමාජිකයින් පුහුණු කරන අයුරු.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ සිරිමාවෝ බණ්ඩාරනායක පාලන කාලයේ දී ඊශ්‍රායලය සමඟ සබඳතා ඊශ්‍රායලය සමඟ සබඳතා අඩු මට්ටමකට පත්වූයේ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාව නොබැඳි රාජ්‍යයක යන ප්රතිප්තියේ පිහිටමින් පලස්තීනය සහ අරාබි ලෝකය වෙනුවෙන් ප්‍රමුඛත්වය දීමට කටයුතු කිරීම හේතුවෙනි.

1988 ප්‍රේමදාස ජනාධිපති වූ පසු මොසාඩ් ඔත්තු සේවයේ හිටපු නිලධාරියෙක් වූ වික්ටර් ඔස්ෆ්රෙස්කි By Way of Deception: The Making and Unmaking of a Mossad Officer නමැති ග්‍රන්ථයේ, ආන්දෝලනාත්මක කරුණු රැසක් ඇතුලත් විය. ඊශ්‍රායලය ශ්‍රී ලංකාවට සැලකිය යුතු ප්‍රමාණයේ යුද උපකරණ සපයා එහි පිරිස් පුහුණු කරන අතර ම, ඊශ්‍රායලය විසින් ම අවි ආයුධ සපයන අතර දෙමළ සටන්කාමීන් පුහුණු කරන බවට ද එම පොතේ ප්‍රකාශ ඇතුළත් විය.හාස්‍යට කරුණ වූයේ දෙපාර්ශ්වය ම අනෙකා කරන දේ ගැන නොදැන සිටිබවත් කෘතියේ සදහන්ව තිබීමයි.ඒ කාලයේ, ඊශ්‍රායලය විසින් ශ්‍රී ලංකාවට වෙරළබඩ මුර සංචාරය සඳහා PT බෝට්ටු කිහිපයක් විකුණා ඇති අතර ඒ සමඟම දෙමළ සටන්කාමීන්ට රජයේ හමුදාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා PT විරෝධී බෝට්ටු උපකරණ සැපයූ සිද්ධියක් එහි සඳහන් විය. ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් ඊශ්‍රායල හමුදා කඳවුරුවල දී ත්‍රස්ත විරෝධී උපක්‍රම පිළිබඳව පුහුණු කර ඇත්තේ ශ්‍රී ලංකාව තුවක්කු, වෙඩි නොවදින කබාය සහ විශේෂ අත්බෝම්බ ඇතුළු ඊශ්‍රායල ආයුධ මිලදී ගන්නා බවට ඇති එකඟතාවයෙන් බවත් පොතේ සඳහන් වෙයි.

මිලදී ගත් උපකරණ අතර විශාල PT බෝට්ටු හතක් හෝ අටක් ඇති බව ද සඳහන්ය. එමෙන්ම, මහවැලි සංවර්ධන ප්‍රදේශයේ ව්‍යාපෘතියක් සඳහා ව්‍යාජ ශක්‍යතා වාර්තාවක් සකසා ඊශ්‍රායලයෙන් මිලදී ගන්නා ආයුධ සඳහා ඩොලර් මිලියන ගණනින් ලෝක බැංකුව සහ අනෙකුත් ආයෝජකයින් වංචා කිරීමට ඊශ්‍රායලය ශ්‍රී ලංකාවට උදව් කළ බවට චෝදනාවක් ද මේ පොතේ අන්තර්ගතය.

මිල දී ගැනීම සඳහා රේඩාර් උපකරණ තක්සේරු කිරීමට බලා සිටි ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් කණ්ඩායමකට කතුවරයාම අනුයුක්ත කර ඇති බවත් අමුත්තන් රැවටීමට සැබෑ රේඩාර් උපකරණ වෙනුවට විශාල වැකුම් ක්ලීනර් පද්ධතියක් පෙන්වූ බවත් තරමක් හාස්‍යජනක ප්‍රකාශයක් ද දක්නට ලැබෙයි.
ප්‍රේමදාස මේ පොත නිකුත් වූ පසු මේ පොතෙහි සඳහන් කරුණුවල ඇත්ත නැත්ත හොයන්න කොමිසමක් පත් කළේය. ඒ කොමිසම නම් කළේ වඩුගොඩපිටිය කොමිසම කියාය. කොමිසම ඔස්ට්රොව්ස්කි සහ ලෝක බැංකු නිලධාරීන් ඇතුළු 100කට ආසන්න සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැණුන අතර, ඉහළ ආරක්ෂක අංශ සහ හමුදා නිලධාරීන්; එම සිදුවීම් වූ බව කියන විට ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලලිත් ඇතුලත් මුදලි සහ ඊශ්‍රායලය සමඟ සමීප සබඳතා පැවැත් වූ බව වාර්තා වන ජනාධිපති ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන සෙසු සාක්ෂිකරුවන් අතර සිටියහ. රවී ජයවර්ධනගේ බිරිඳ වන පෙනී ජයවර්ධන ඊශ්‍රායලයට ගිය අවස්ථාවේ තමා ඇය සමඟ ගිය බව ඔස්ට්රොව්ස්කි සිය පොතෙන් හෙළි කළා. මෙම සංචාරය අතරතුර දී, ඔහු ඇයව කිතුනු ශුද්ධස්ථාන සහ වෙනත් වැදගත් ස්ථාන නැරඹීමට රැගෙන ගිය බව ඔහු පැවසීය. ඇයද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අයෙක්.
වඩුගොඩපිටිය ඔස්ට්රොව්ස්කි සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා කැනඩාවට යන අතරමගදී ඔහු ලන්ඩනයේ නැවතී සිටි අතර එහිදී ඔහු ජයවර්ධන යටතේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ එක්සත් රාජධානියේ එවකට ශ්‍රී ලංකා මහ කොමසාරිස් සේපාල ආටිගල සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවා කළේය.
1990 වර්ෂයේදී ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ නියෝගය පරිදි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පිහිටුවා තිබූ interests section නම් නිල නොවන රාජ්‍යතන්ත්‍රික ඒකකය වසා දමා එහි සිටි ඊශ්‍රායල රාජ්‍යතන්ත්‍රිකයින් දෙදෙනා කොළඹින් පිටත්ව යන ලදි.ප්‍රේමදාස මහතාට එම තීරණය ගැනීමට සිදුවූයේ එවකට රජයේ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ බලපෑම හමුවේය.මෙරට හමුදාව සහ දෙමළ බෙදුම්වාදීන් යන දෙපාර්ශ්වයම මොසාඩ් සංවිධානය විසින් පුහුණු කිරීම සම්බන්ධව රාජ්‍ය මට්ටමේ විමර්ශනයක් අරඹන්න යැයි 1990 වර්ෂයේදී ප්‍රේමදාස මහතා නියෝග කරන ලදි.
1991 සැප්තැම්බර් 25 දා රොයිටර් පුවත් සේවය වාර්තා කලේ “ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන රණසිංහ ප්‍රේමදාස මහතා ඔහුට එරෙහි දෝෂාභියෝගයට පරාජය කිරීමට සටන් කරමින් සිටියි.ඊශ්‍රායලය සමග තිබූ සබදතා අතහැරීම නිසා මොසාඩ් සංවිධානය ඔහුට එරෙහිව කරන කුමන්ත්‍රණයක් ලෙස දෝෂාභියෝගය හඳුන්වාදී තිබිණි”.ලලිත් සහ ගාමිණී දෙදෙනාම ඊශ්‍රායලයට සහ මොසාඩ් එකට සමීප ඇමතිවරු වූහ.රනිල් ද එවැන්නෙකි.

ජේ.ආර්.ගේ ආණ්ඩුවට ඊශ්‍රායලයේ යුද විශේෂඥයන්ගේ සහාය සහ ඊශ්‍රායල ආයුධ අවශ්‍ය වූයේ යුද්ධය ආරම්භ වූ නිසාය.ඒ වනවිට ආරක්ෂාව භාරව හිටියේ ලලිත් ඇතුලත්මුදලිය. මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කරන්න එවක ලොව අංක එකේ ඉදිකිරීම් විශේෂඥවරුන් වූ ඊශ්‍රායල වෘත්තිකයන් ඕනෑ විය.මහවැලිය භාරව හිටියේ ගාමිනී දිසානායකය. එවක කර්මාන්ත ඇමැති රනිල්ය.කර්මාන්ත සදහාද ඊශ්‍රායෙල් සහය අවශ්‍ය විය. බියගම නිදහස් වෙළෙඳ කලාපය විවෘත කරන දිනයේ පැවැති උත්සවයට ඊශ්‍රායල් නියෝජිතයන්ටද ආරාධනා කොට තිබිණි.එහිදී ඊශ්‍රායල් නියෝජිතයාව ඉන්දිය මහ කොමසාරිස්ට හඳුන්වා දෙන ලෙස ජේආර් රනිල්ට පවසා තිබිණි.රනිල් නියෝජිතයාව ඩික්සිත්ට හඳුන්වා දෙනවිට ඩික්සිත් පිලිකුලටත් අපහසුතාවයටත් පත්වූ බව ඔහුගේ කොළඹ භූමිකාවේ තිබේ. ඊශ්‍රායල් ඔත්තු සේවය වූ මොසාඩ් ඔත්තු සේවය ලංකාවේ බින්නබැහීම ඉවසන්න බැරිව ඉන්දියාව ලංකාව හැම අතින්ම වටකරනු ලැබීය.
ඊශ්‍රායලයට එරෙහිවන බොහෝ චරිත වලට අත්වුයේ අද්භූත ඉරණමකි. ලලිත් ඇතුලත්මුදලි කලක් මොසාඩ් සංවිධානයෙන් වැටුප් ගත් බවට ප්‍රකට රහසක් විය.එහෙත් පසු කලෙක මොසාඩ් සංවිධානය හරහා එල්ටීටීඊය සන්නද්ධ කිරීමට ප්‍රේමදාස ක්‍රියාකල බවට ප්‍රසිද්ධියේ කියන්නට තරම් ඇතුලත්මුදලි නිර්භීත විය. අවනස් ප්‍රතිපලය වූයේ 1993 අප්‍රේල් 23දා ඔහුව තුවක්කුකරුවෙක්ගේ වෙඩි පහරින් මරණයට පත්වූයේ රැස්වීමක් අමතමින් සිටියදීය.ඔහුගේ මරණය සම්බන්ධව වගකීම එල්ටීටීඊය මත මෙන්ම ඔහුගේ සතුරා වූ රණසිංහ ප්‍රේමදාස මතද පැටවිණි.නමුත් එම ඝාතනය සම්බන්ධව සෘජුව එල්ටීටීඊයට ඇගිල්ල දිගු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවිය.

එමෙන්ම මෙරට සාම සාකච්ඡා පවතින කාලවලදී මොසාඩ් සංවිධානය රහස් මෙහෙයුම් දියත් කරමින් යළි සටන් ඇවිලවීමට ක්‍රියාකල බවට බොහෝ චෝදනා එල්ල විය. බෙදුම්වාදී යුද්ධයට ගැළපෙන්නේ දේශපාලන විසදුමක් බව විශ්වාස කල දෙමළ ක්‍රිස්තියානි නායකයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා(විදේශ අමාත්‍යය)සිය සුඛෝපභෝගී නිවසේ පිහිනුම් තටාකයේ සිටියදී ස්නයිපර්කරුවක්ගේ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වූයේ 2005 අගෝස්තු මස 12දාය.තම විරුද්ධවාදීන් මරාදැමීම සම්බන්ධ ඉතිහාසයක් සහිත එල්ටීටීඊයට මෙම ඝාතනයේ චෝදනාව සෘජුවම එල්ල විය.නමුත් කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් එම ඝාතනයට සිය සංවිධානයේ සම්බන්ධයක් නැතිබව ප්‍රකාශ කලේය.
පසුකලෙක මහින්ද රාජපක්ෂද පලස්තීනය වෙනුවෙන් පෙනී සිටි අයෙකි.එහෙත් රනිල් වික්‍රමසිංහ පුරුදු පරිදි ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටි අයෙකි.මේ තත්ත්වය මත එහි සිටි ඉම්තියාස් බාකිර් මාකාර් වැනි ජේෂ්ඨයින්ට දරාගැනීමට නොහැකි විය. ඉම්තියාස් ලා රනිල් සමග දැඩිව අරගල කළේ පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින්න කියා නොවේ,සාධාරණත්වයේ පැත්ත ගන්න කියා ය.එහෙත් රනිල්ට සිය දිගුකාලීන නැමියාව වෙනස් කළ නොහැකි විය.ඉම්තියාස් පලස්තීනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී හෝ ඉන් පිටතදී කතා කරනවිට පක්ෂ නායකත්වයේ සිටි රනිල්ට එය රිස්සුවේ නැත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ යුතු හොඳම දේ මේ කෘතිය නිවාඩු පාඩුවේ කියවන එකය.
ඉම්තියාස්ලා නව පක්ෂයක් ලෙස සමගි ජනබලවේගය නිර්මාණය කළේ ඉන් පසුව ය.එහි නායකත්වයට සජිත් ප්‍රේමදාස පත් විය.සිය පියා මෙන් සාධාරණත්වයේ පැත්ත සජිතුත් ගනු ඇතැයි ඉම්තියාස්ලා කල්පනා කරන්නට ඇත. මුලදී ඔහු ඒ කල්පනාවන්ට සාධාරණයක් ඉටු කළේය.ඉතා සැරටත්,ඉතා දැඩිවත් සජිත් පලස්තීනය වෙනුවෙන් කතා කළේය.එහෙත් පසුගිය මැතිවරණ දෙක පරාජය වීමෙන් පසු සජිත්ගේ ස්ථාවරය තීරණාත්මකව වෙනස් වී ඇත. දැන් ඔහු ඊශ්‍රායල් අතකොලුවක් වී ඇත.
ඉම්තියාස්ට ජාතික ලයිස්තුව අහිමි වන්නේ හුදෙක් එපාර්ට්මන්ට් එකක සිදුවූ සරල සිල්ලර කතාවකින් නොවේ. එය ඊට වඩා ගැඹුරු දේශපාලන වටලෑමක ප්‍රතිපලය කි. ඒ බවට මූලික සහ තීරණාත්මක ඉඟිය ඊයේ දයාන් ජයතිලක විසින් ලබා දුන්නේ ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ යුතු හොඳම දේ මේ කෘතිය නිවාඩු පාඩුවේ කියවන එකය.