වෙනම ගේම් ගහනව ද? එකතුවෙලා ගේම ගහනවද? සජිත් කෙලින්ම අසයි.

unp 1024x683

සජබය සහ එජාපය අතර පැවැති සාම සාකච්ඡා සාර්ථක අවසානයක් කරා ළඟාවෙමින් පවතින ආකාරයක් රටට දැකගන්නට ලැfබන බවත් එහි තීරණාත්මක පියවරක් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එජාපයෙන් සාගල රත්නායක අතර තීරණාත්මක හමුවුක් පසුගිය දා සිදුවිය. ඒ,ටාජ් සමුද්‍රා හෝටලයේ කලම්බු ක්ලබ්හිදීය.

එහිදී සජිත් ප්‍රේමදාස ඉතා සංවේදී කරුණු කිහිපයක් පවසා ඇතැයි කියැවේ.එහිදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මෙසේ පවසා ඇත.

‘මම කියන්න ඕනේ නෑනේ ඔබතුමාට මම යූ.ඇන්.පී. එකේ ඉන්න කොට මට කරපු දේවල්. හැබැයි මම ඒ කිසිම දෙයක් හිතේ තියාගෙන වැඩ කළේ නෑ. රනිල් අත්අඩංගුවට ගත්ත වෙලාවේ මම හිටියේ සිංගප්පූරුවේ. මට මේ සිදුවීම ආරංචි වුණාම මම පක්ෂයට කිව්වේ මොන ප්‍රශ්න තිබුණත් අපි ඒවා අමතක කරලා රනිල් වෙනුවෙන් පෙනී ඉන්න ඕනෙ කියලයි. ඔයා දන්නවා අපි සජබය හැදුවට පස්සේ ඒ පක්ෂය කඩන්න, මාව විනාශ කරන්න රනිල් මොනවද නොකළේ කියලා. එතුමා ජනාධිපති වුණාට පස්සෙත් මට ගහන්න, මේ පක්ෂය විනාශ කරන්න පුළුවන් හැම දේම කළා. හැබැයි එතුමා අත්අඩංගුවට ගත්තා කියලා මට කිව්වට පස්සේ මට ඇතිවුණේ ලොකු කනගාටුවක්. මට එතුමා ගැන අනුකම්පාවක් ඇතිවුණේ. මොකද එතුමා මගේ හිටපු නායකයා. ඒ නිසා මම අවංකවම එතුමා බේරගන්න වැඩේට බැස්සා. මම විතරක් නෙවෙයි පක්ෂයත් බැස්සුවා. හැමදාම ඉස්පිරිතාලෙට ගිහින් එතුමා ගැන හොයා බැලුවා. වැලිකඩට ගිහින් එතුමා ගැන බැලුවා. මේ හැම දෙයක්ම මම අවංකවම කළේ එතුමාව ශක්තිමත් කරන්න. හැබැයි අන්තිමට මොකක්ද වුණේ? එතුමා ඉස්පිරිතාලෙන් එළියට එන දවසෙම සැලසුම් කළේ මට ගහන්න. මට ගහලා මාව විනාශ කරන්න. එතුමාගෙ කට්ටිය දම්මලා මට එරෙහිව නිවුස් ප්ලාන්ට් කරන්න ගත්තා මාවත් අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කරන්න යනවා කියලා. අල්ලස් කොමිසමෙන් මාව අත්අඩංගුවට ගන්න යනවා කියලා. එහෙම කරලා එතුමා බැලුවේ මාව වට්ටන්නයි. හැබැයි මමත් දැන් මේ ගැහිලිවලින් හොඳට තෙම්පරාදු වෙලයි ඉන්නේ. මම දැන් ඉස්සර සජිත් නෙවෙයි. මේ ගැන හොයන්න මම හොඳට ඉව තියෙන පොලිස් බල්ලො දැම්මාම ඒ අය ගිහින් නැවතුණේ රනිල්ගෙ කකුල් දෙක ගාව. ඒ නිසා මම කියන්නේ මෙච්චරයි. ගේම් ගගහා අපිට මේ වැඩේ කරන්න බෑ. එක්කෝ අපි දෙගොල්ලොම ගේම් ගගහා ඉමු. නැත්නම් අපි දෙගොල්ලෝ එකතු වෙලා වැඩ කරමු. මට ගේම් ගහන්නයි, පක්ෂ දෙක එකතු කරලා පාක්ෂිකයන්ට ජයග්‍රහණයක් අරන් දෙන්නයි දෙකම කරන්න බෑ. හැබැයි රනිල් හදන්නේ හැම වෙලාවෙම ගේම් ගහලා මේකේ කකුලෙන් අදින්න….’ යනුවෙන් සජිත් ඉතා සංවේදීව අදහස් ඉදිරිපත් කරද්දී සාගල කිසිදු අදහස් දැක්වීමකින් තොරව නිහඬව ඒ සියල්ල අසා සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී යම් යම් කරුණු සම්බන්ධයෙන් සාගලද යම් අනුකූලතාවක් දක්වමින් ඒවා පිළිගනිමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. නමුත් අවසානයේදී සාගලද කියා සිටියේ පක්ෂ දෙක එකතු වීම සඳහා දෙපාර්ශ්වයම යම් එකඟතාවකට පැමිණිය යුතු බවත්, මේ වනවිට ඒ සම්බන්ධයෙන් පාක්ෂිකයන් තුළද විශාල උනන්දුවක් සහ බලාපොරොත්තුවක් මතුව ඇති බවත්ය. සජිත් ඊට 100%ක් එකඟතාව පළකරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.

සාගලත් එකතු වෙයි!

‘කිසි ප්‍රශ්නයක් නෑ. මේ පක්ෂ දෙක එකතු වෙන්න ඕනේ. අපි යම් එකඟතාවකට එන්න ඕනේ. හැබැයි එතැනදී රනිල් පැහැදිලිවම ඉන්න ඕනේ උපදේශක මට්ටමේ. දැන් මේ පක්ෂ දෙකේම නායකත්වයට එන්න පුළුවන් දක්ෂ තරුණයෝ විශාල පිරිසක් හැදිලා ඉන්නවා. රටේ ජනතාව ඉල්ලන්නේ ඒක. අපි මේ පක්ෂ දෙක එකතු කරලා එක පක්ෂයක් විදිහට යනවාද, නැත්නම් සන්ධානයකට යනවද කියලා පස්සේ තීරණය කරන්න පුළුවන්. අපි එතැනට යන්න ඉස්සෙල්ලා දෙපැත්තේම අයට එකඟ වෙන්න පුළුවන් පොදු වැඩපිළිවෙළකට යන්න ඕනේ. මමම මේක අතට ගත්තේ ඒ නිසයි. මොකද මෙව්වා කමිටු දාලා, වාර්තා හදලා, ඒවා විශ්ලේෂණය කර කර තීන්දු තීරණ ගන්න පුළුවන් දේවල් නෙවෙයි. මම මේක කරන්නේ ගේම් ගහන්නේ නැතුව අවංකවම. මම ගිය සතියේ මෙතැනදිම රුවන්, අකිල, නවීන් මුණගැහිලා කතා කළෙත් මේකමයි. ඒ අයත් මට කිව්වා ඔයාවත් හමුවෙලා මේ ගැන සාකච්ඡා කරන්න කියලා. ඒ වගේම මම අනෙක් අයවත් හමුවෙලා මේ ගැන කතා කරනවා…’ යැයි සජිත් කියද්දී සාගලද එය පිළිගනිමින් කියා සිටියේ හැකි ඉක්මනින් පක්ෂ දෙකේ නායකයන් වන සජිත් සහ රනිල් අතරද හමුවක් පැවැත්විය යුතු යැයි කියාය. ඊට සජිත් එකඟතාව පළකළත් එවැනි හමුවක් සඳහා මෙය අවස්ථාව නොවන බව සජිත්ගේ ස්ථාවරය වී තිබිණි.

‘ඔව්, අනිවාර්යයෙන්ම නායකයෝ දෙන්නා හමුවෙලා සාකච්ඡා කරන්න ඕනේ. හැබැයි මේ ඒකට වෙලාව නෙවෙයි. අපි ඒක කරන්න ඕනේ අන්තිමට. එතැනට අපි යන්න ඕනේ පියවරෙන් පියවර. මොකද දැන් ඡන්දෙකුත් නෑ. අපිට පක්ෂ දෙක එකතු කරගන්න අවශ්‍ය වටපිටාව සකස් කරගන්න කාලය තියෙනවා. මුලින්ම අපි මේ විදියට සාකච්ඡා කරලා පොදු වැඩපිළිවෙළක් හදාගෙන ඒකට අනුව ගමන් කරමු. පස්සේ අපිට පුළුවන් ඒ විශ්වාසය ගොඩනගා ගත්තට පස්සේ නායක මට්ටමේ සාකච්ඡාවක් තියලා අවසන් තීන්දු තීරණවලට එන්න…’ යනුවෙන් සජිත් කියද්දී සාගලද ඊට එකඟතාව පළකරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව සජිත්, නවීන්, අකිල, රුවන් සාකච්ඡාව මෙන්ම සජිත් – සාගල සාකච්ඡාවද අවසන් වූයේ ඉතා සාර්ථකවය.