Free Lawyers සංවිධානයේ හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න, පසුගිය දා පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ආණ්ඩුව නීතිපතිවරයාට බලපෑම් කරන බවට චෝදනා කළේ ය.
“ආණ්ඩුවේ අලුත් ම තත්ත්වය මොකක් ද, ආණ්ඩුවට දැන් නීතිපතිතුමාට ගහන්න ඕන වෙලා තියෙනවා. මේ රටේ නීතිපතිතුමා කියන්නේ ආණ්ඩුවේ ගැත්තෙක් නෙමෙයි. රාජ්ය නිලධාරියෙක් වුණාට නීතිපතිතුමා ක්රියාත්මක කරන්නේ අර්ධ අධිකරණ බලයක්. නීතිපතිතුමාට පුළුවන් ඕනෑ ම නඩුවක් පාඩම් කරලා, මේ නඩුව කරගෙන යනවා ද, මේ නඩුව ඉල්ලා අස්කරගන්නවා ද කියලා තීරණයක් ගන්න. ඒ තරම් බලයක් නීතිපතිතුමාට තියෙනවා. ඒ බලය කාටත් බලපෑම් කරලා ඒ බලය අයුතු ලෙස පාවිච්චි කරන්න කියන්න බැහැ. දැන් මේ ඉන්න නීතිපතිතුමා ඉතාමත් ම ස්වාධීනව වැඩ කරන නීතිපතිවරයෙකු හැටියට ආණ්ඩුවට මේක ලොකු ප්රශ්නයක් වෙලා තියෙනවා. ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ මේ නීතිපතිතුමාව රූකඩයෙක් වගේ නටවන්න. මේ නීතිපතිතුමාව රූකඩයක් වගේ නටවලා ආණ්ඩුවට ඕන විදියට නඩු දාන්න.”