ශිරන්ති රාජපක්ෂගේ සිරි­ලිය ගිණුම නැවත කරළියට

Shiranthi Rajapaksa's Siriliya account

අල්ලස – දූෂ­ණය – නාස්ති­යට එරෙහි සංවි­ධා­නය අල්ලස් හෝ දුෂණ විම­ර්ශන කොමි­ෂන් සභා­වට පැමි­ණි­ල්ලක් සිදු කර තිබෙනවා. ඒ කොළඹ මියු­සි­යස් විදු­හල අසල ඇති නිවෙ­සක් 2013.04.05 දිනැති ඔප්පුව මඟින් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මි­යගේ නමට මිලදී ගැනීම සම්බන්ධවයි.

මේ නිවෙස සිරි­ලිය ගිණුමේ තිබූ රුපි­යල් ලක්ෂ 350ක් වැය කර මිලදී ගෙන ඇති බවට ඉඩ­මට අදාළ ලේඛන පරීක්ෂා කිරී­මේදී සඳ­හන් වන බව එම පැමි­ණිල්ලේ පෙන්වා දී ඇත. මෙය දූෂිත ගනු­දෙ­නු­වක් බවට හැඟී යන බැවින් මේ සම්බ­න්ධ­යෙන් විධි­මත් පරී­ක්ෂ­ණ­යක් කරන ලෙස එම සංවි­ධා­නය ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල ද පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව ශිරන්ති රාජපක්ෂ විසින් ‘සිරිලිය සවිය’ නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යාම මෙන්න අහගන්න. ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සිරිලිය සවිය නමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර සැකකටයුතු ගිණුමක් පවත්වාගෙන යයි. අර ලෝක ප්‍රසිද්ධ සිරිලිය ගිණුම. දැනට මෙම ගිණුම ව්‍යාජ ගිණුමක් බව සනාථ වී ඇත. ගිණුමේ මැන්ඩේට් පත්‍රය [අයැදුම්පත] බැංකුවෙන් අස්ථානගත වී ඇත. ගිණුමක් විවෘත කරලා මැන්ඩේට් පත්‍රය අස්ථානගත කරලා. කවු ද කරේ? ඒවා අපි හොයනවා,”

“කොළඹ 10, ඩාර්ලි පාර, මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ සිරිලිය සවිය නමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් නීත්‍යනුකූලව ඉදිරිපත් කළ යුතු ලේඛන ඉදිරිපත් නොකර 2006.11.14 දිනැතිව අංක 143-1-001-4-6235069 යනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. දැනට මෙම ගිණුමේ ගනුදෙනු අත්හිටුවා ඇති අතර, මේ වන විට ගිණුමේ ශේෂය රු. මිලියන 43කි. කවු ද අත්හිටෙව්වේ? අපි ඒවා හොයනවා.”

“මෙම ගිණුමේ සභාපති ශිරන්ති රාජපක්ෂ කවු ද? මහින්ද රාජපක්ෂගේ නෝනා. ලේකම් සීතා කල්‍යාණි දිසානායක. භාණ්ඩාගාරික නිරෝෂා ජීවනී යන අයවලුන් වේ.

දැනට මෙම ගිණුමට අවස්ථා 88කදී රුපියල් අට කෝටි විසි නව ලක්ෂ අසූ අටක් තැන්පත් කර ඇති අතර, ආපසු ගැනීමේ අවස්ථා 129කදී රුපියල් තුන් කෝටි අනූ ලක්ෂ පහළොස්දාස් හයසිය පනස් හයක මුදලක් ලබාගෙන ඇත. ලක්ෂ 100ක ස්ථාවර තැන්පතුවක් ද මෙම බැංකුවේ සිරිලිය නමින් ආරම්භ කර ඇත. මෙම ගිණුම සම්බන්ධයෙන් විමර්ශන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරනු ලබයි,”