පෞද්ගලික විදෙස් සංචාරයක් සඳහා රුපියල් මිලියන 16.6ක රජයේ මුදල් අවභාවිත කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (28) යළි කැඳවීමට නියමිතය.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මේ වන විට මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.
පෞද්ගලික විදෙස් සංචාරයක් සඳහා රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ වන විට ඇප මත මුදා හැර සිටී.
පොලිසිය පවසන පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ සම්බන්ධයෙන් මේ වන විටත් පුළුල් විමර්ශනයක් සිදු කර ඇත.
මෙම විමර්ශනවල කොටසක් ලෙස, සිද්ධියට සම්බන්ධ පාර්ශව කිහිපයකින් ප්රකාශ සටහන් කර ගැනීම සඳහා නිලධාරීන් පිරිසක් එක්සත් රාජධානිය වෙත ද ගොස් තිබුණි.
මෙම චෝදනාවලට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සැකකරුවෙකු ලෙස නිල වශයෙන් නම් කර ඇති අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
එම උපදෙස් මත හිටපු ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර ඇත.
කෙසේ වෙතත්, පොලිසිය ප්රකාශ කළේ සැකකරු මේ වන විට ඔහුගේ නිවසේ නොමැති බවත්, ඔහුගේ ජංගම දුරකථනය ද ක්රියා විරහිත කර ඇති බවත්ය.