සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වනවා.
ඉන්දුනිසියාවේ සිට කෙහෙල්බද්දර පද්ම ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිරිස මෙන්ම නේපාලයේ සිට රැගෙන ආ ගණේමුල්ල සංජිව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාර සෙව්වන්දි ඇතුළු පිරිස් මෙරටට රැගෙන එම සඳහා ද සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සිය දායකත්වය සපයනු ලැබුවා.
ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල අද (29) සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි.
රොහාන් ඕලුගල මහතා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයෙන් හදිසියේම ඉවත් කර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායට මාරුකර යවන්නේ කිසියම් ගැටලුවක් නිසා දැයි කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු කියා සිටියේ ඒ මහතාගෙන් මීට වඩා සේවයක් ලබාගැනීමේ අරමුණෙන් මෙම මාරු කිරීම සිදුකර ඇති බවයි.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවත්, එම බළකායට රටේ ඕනෑම ප්‍රදේශයක මෙහෙයුම් ක්‍රියාත්මක කර අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය ලබාදී ඇති බවත්, එනිසා රොහාන් ඕලුගල මහතාගෙන් විශාල සේවයක් පොලිස් දෙපාර්තමේන්තුවට ලබාගැනීමට මෙම මාරුකිරීම සිදු කරන බවත්, එම උසස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.