මෙරට සිදු කරන ලද මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, මංකොල්ලකෑම් සහ බරපතළ තුවාල කිරීම් වැනි අපරාධවලට අදාළව අධිකරණය මඟහැර විදෙස් රටවලට පලා ගොස් සිටින විවෘත වරෙන්තුකරුවන් 95 දෙනකුට එරෙහිව අධිකරණයෙන් ලබාගත් රතු නිවේදන අනුව එම අපරාධ සැකකරුවන් විදෙස් රටවලදී අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික පොලීසිය හරහා ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ එෆ්.යූ. වුට්ලර් පැවසීය.
එම රතු නිවේදන නිකුත් කළ විවෘත වරෙන්තුකරුවන් 95 දෙනාගෙන් 10 දෙනකු 2024 වසරේදීද, 11 දෙනෙකු 2025 වසරේදීද අන්තර්ජාතික පොලීසිය සහ අදාළ රටවල පොලීසි මඟින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවත්, මේ වසරේ ගත වූ දින කීපය තුළද තිදෙනකු මෙරටට රැගෙනවිත් නීතිමය කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
රතු නිවේදන නිකුත් කර තිබෙන අපරාධ සැකකරුවන් අතරට විශේෂයෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල අපරාධ සිදු කොට විදෙස් රටවලට පලා ගොස්, ඉකුත් කාලයේද සිය ගෝලයන් යොදවා මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් සියලු දෙනා අයත් වන බවද අත්අඩංගුවට ගැනීමට සිටින රතු නිවේදන නිකුත් කළ සෙසු අපරාධ සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට අන්තර්ජාතික පොලීසිය හරහා ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.