තැපැල් සේවාවේ පවතින හත්දහසකට (7,000) ආසන්න පුරප්පාඩු සංඛ්‍යාව තැපැල් සේවා කටයුතුවලට තදබල ලෙස බලපාන බව ත් මේ නිසා ජනතාවට ගුණාත්මක සේවාවක් ලබා දීමට නොහැකි වී තිබෙන බව ත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
මෙම පුරප්පාඩුවලින් එක්දහස් පන්සීයකට ආසන්න ප්‍රමාණයක් පවතින්නේ තැපැල්කරු සේවාවට අදාළව බව ත් පවතින සේවක හිඟය නිසා ඇතැම් ප්‍රදේශවලට ලිපි බෙදා දීම සිදු කරනු ලබන්නේ සතියකට දින දෙකක් හෝ තුනක් පමණක් බව ත් එම සංගමයේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසයි.
පවතින පුරප්පාඩු නිසා තැපැල්කරුවන්ට කලාප කිහිපයකට ම එක් දිනක් තුළ ලිපි රාශියක් බෙදා දීමට සිදුව තිබෙන බව ත් මේ නිසා මෙම පිරිස්ද දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බව ත් ඔහු කියයි.
මීට අමතරව තැපැල් ස්ථානාධිපති සේවාව තුළත් පුරප්පාඩු දෙදහස් පන්සීයකට ආසන්න සංඛ්‍යාවක් පවතින බව ත් ලිපි තේරීම් ඇතුළු කනිෂ්ඨ කාර්ය මණ්ඩලවලත් මෙපරිද්දෙන්ම පුරප්පාඩු රැසක් ඇති වී තිබෙන බව ත් සම කැඳවුම්කරු සඳහන් කළේය.
තැපැල් සේවාවට අදාළව සේවකයන් විසිහයදහසක් (26,000) සේවයේ නිරතව සිටිය යුතු වුවත් මේ වන විට සේවය කරනු ලබන්නේ දහනව දහසකට (19,000) ආසන්න සේවක සංඛ්‍යාවක් බව ද පැවසීය.
පසුගිය කාලයේදි කනිෂ්ඨ කාර්ය මණ්ඩලවලට ආදාළව බඳවා ගැනීම් සිදුවූ බව ත් එලෙස බඳවා ගැනීම් සිදුකරනු ලැබුවේ තැපැල් සේවාව තුළ අනියම් හා අදේශක පදනමින් සේවය කළ පිරිස් වන අතර මේ නිසා පවතින පුරප්පාඩු සංඛ්‍යාව ඒ ආකාරයෙන්ම පවතින බව ත් චින්තක බණ්ඩාර සඳහන් කළේ ය.
තැපැල් සේවාවේ පුරප්පාඩු සම්පූර්ණ වීමට නම් පිටතින් බඳවා ගැනීම් සිදුකළ යුතු බව ත් එසේ නොමැතිව සේවාව තුළ සිටින අදේශක හා අනියම් පදනමින් සිටින පිරිස් ස්ථීර සේවයට ඇතුළත් කර ගැනීම තුළින් අදාළ ගැටලුවට විසඳුම් නොලැබෙන බව ත් ඔහු කීය.