කුණුත් කාපු කොළඹ නගර සභාව

new project 2025 08 08t172611.148 750x375

කොළඹ මහා නගර සභාවේ කුණු සල්ලි සාක්කුවලට ගිය අයුරු අපි පසුගිය සිළුමිණෙන් අනාවරණය කළෙමු. කොළඹ මහා නගර සභාවේ සිදුව ඇති අවභාවිත අකටයුතුකම් පිළිබඳව 2026 පෙබරවාරි මස 23 වැනිදා හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතු බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් දන්වා තිබූ හෙයින් අද අප හෙළි කරන්නේ කොළඹ මහා නගර සභාවේම තවත් එවැනි කතාවකි. එහෙයින් මෙය පසුගිය සතියේ ලිපියේ දිගුවක් ලෙසද හැඳින්වීමට හැකිය.

පෞද්ගලික අංශය සම්බන්ධ කරගන්නේ කොතැනද; කොළඹ මහා නගර සභාවේ එතැන දූෂණයකි; අවභාවිතයකි. අපි ඒ ගැන ඍජුවම කතා කරමු.

පසුගිය 2025 වසරේ මැයි මාසය දක්වා සිදුවූ අක්‍රමිකතා අවභාවිතා රැසකි මේ.

කොළඹ මහා නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කොන්ත්‍රාත් ගිවිසුම් යටතේ දිසා බල ප්‍රදේශ 3කට අදාළව ප්‍රචාරණ රථ (Propaganda) 3ක් ලබාගැනීමට ගිවිසුම්ගතව තිබිණි. ඒ අනුව, අශ්වබල 650ට අඩු කුඩා වෑන් රථ (බට්ටා වෑන්) 3ක් කුලී පදනම මත ලබාගෙන 2025 ජනවාරියේ සිට මැයි දක්වා වූ කාල සීමාවට රු. ලක්ෂ 45කට අධික මුදලක් (රු. 4,519,981.26) ගෙවා ඇත. නිලධාරීන් පවසා ඇත්තේ ප්‍රචාරණ රථ ලෙස පෞද්ගලික සේවා සැපයුම්කරු වෙතින් ලබාගත් අශ්ව බල 650ක ධාරිතාවෙන් යුත් එම කුඩා වෑන් රථ තාක්ෂණික නිලධාරීන් හා වැඩ අධීක්ෂකයන්ගේ දෛනික ක්ෂේත්‍ර පරීක්ෂා හා අත්පත්‍රිකා බෙදාහැරීම වෙනුවෙන් භාවිත කළ බවයි. එහිදී එක් වෑන් රථයක් වෙනුවෙන් මාසිකව ගෙවනු ලබන ගාස්තුව හා ධාවනය කරනු ලබන දුර ප්‍රමාණය, ඒ සඳහා වන වියදම සලකා බැලීමේදී පෞද්ගලික සේවා සැපයුම්කරුට අසීමිතව ලාභ ඉපයීමට හැකි වන පරිදි ක්‍රියා කර තිබේ.

6.2 1

උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නේ නම්: PF 5022 කුඩා වෑන් රථය 2025 වසරේ අප්‍රේල් මස ධාවනය කර ඇත්තේ කි.මී. 1,059ක දුරක් පමණි. ඒ වෙනුවෙන් රු. ලක්ෂ 4කට අධික මුදලක් (රු. 410,205.00) ගෙවා ඇත. ඒ අනුව කි.මී. 1ක් වෙනුවෙන් ගෙවා ඇති මුදල රු. 387.35කි. එය සුඛෝපභෝගි රථයකට ගෙවනු ලබන මුදලටත් වඩා අධික මුදලකි. එමෙන්ම PF 5022 කුඩා වෑන් රථය 2025 පෙබරවාරි මාසයේ ධාවනය කර ඇත්තේ කි.මී. 916ක් පමණක් වුවද ඒ වෙනුවෙන් ගෙවා ඇති මුදල රු. 341,837කි. ඒ අනුව කි.මී. 1ක් වෙනුවෙන් ගෙවා ඇති මුදල රු. 373.18කි. එසේම PG 2601 දරන කුඩා වෑන් රථය 2025 වසරේ පෙබරවාරියේ ධාවනය කර ඇත්තේ කි.මී. 872ක් පමණක් වුවද ඒ වෙනුවෙන් ගෙවා ඇති මුදල රු. 269,017.00කි. එම රථය දිනකට ධාවනය කර ඇති දුර ප්‍රමාණය කි.මී. 29ක් පමණි. අවභාවිතය මෙයින් පැහැදිලිය.

මේ ආකාරයට WP PF 5022, WP PG 6804, WP PG 2601 යන කුඩා වෑන් රථ 3 වෙනුවෙන් අසීමිතව මුදල් ගෙවා ඇති බව මෙයින් පැහැදිලිය.

කසළ එකතු කිරීම, වර්ග කිරීම හා බැහැර කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් කොළඹ මහා නගර සභාව දිනපතා ප්‍රචාරණ කටයුතුවල නිරත නොවන අතර, අවිධිමත් ලෙස මහා නගර සභාව විසින් වාහන 3ක් කුලී පදනම මත ලබාගැනීම සඳහා දරන ලද වියදම හේතුවෙන් මහා නගර සභාවේ මුදල් නොසැලකිලිමත් ලෙස භාවිත කර ඇති බව විගණනයේදී නිරීක්ෂණය වී තිබේ.

colombo

එමෙන්ම කොළඹ නගරය පුරා ඇති පෝස්ටර්, බැනර් හා සැරසිලි ආදිය ඉවත් කිරීම වෙනුවෙන් කළ ගෙවීම්වලද අතිවිශාල අවභාවිත සිදුව ඇති බව නිරීක්ෂණය වී තිබේ. කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයේ දිසා 7ක් වශයෙන් වෙන් වෙන්ව මේ සඳහා ගෙවීම් සිදු කර ඇති අතර, ඒ උදෙසා රු. කෝටි 3කට වැඩි මුදලක් (රු. 31,321,700.00) ගෙවා ඇත.

පෝස්ටර් ඉවත් කිරීම කොළඹ මහා නගර සභාවේ යන්ත්‍ර හා උපකරණ භාවිත කර කොළඹ මහා නගර සභාවේ සේවකයන් ඉටු කරන බැවින් බොහෝ දිසා බල පෙදෙස්වල සිදු කරන්නට ඇත්තේ බැනර් හා සැරසිලි ඉවත් කිරීම පමණි. විශේෂයෙන්ම දිසා අංක 02 B ප්‍රදේශයේ මේ කාර්යයන් වෙනුවෙන් රු. 8,314,225ක් ගෙවා ඇති අතර දිසා අංක 03 වෙත රු.8,450,275ක්ද දිසා අංක 04 වෙනුවෙන් රු. 6,168,860ද ගෙවා ඇත. ඒ සියල්ල අනුමත කළ නොහැකි ගෙවීම් බවට මේ වන විට වාර්තා වී තිබේ.

new project 2025 08 08t172611.148 750x375

කොළඹ මහා නගර සභාවේ නගර සැලසුම් අංශය විසින් අනවසර දැන්වීම් පුවරු ඉවත් කිරීමේ කාර්යය වෙනුවෙන් ශ්‍රම මිල දී ගැනීමේ පදනම යටතේ සේවකයන් යොදවා ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවමින් තිබියදී සහ කොළඹ මහා නගර සභා සීමාවේ දිසා බල ප්‍රදේශ 02 B, 03 හා 04 ආවරණය වන පරිදි නගර සභාවේ පෝස්ටර් ඉවත් කිරීමේ රථය භාවිත කර නගර සභාවේ සේවකයන් විසින්ම පෝස්ටර් ඉවත් කිරීමේ කාර්යය සිදු කරන තත්ත්වයක් මත පෝස්ටර්, බැනර් හා සැරසිලි ආදිය ඉවත් කිරීමට බව අඟවමින් ඒ සඳහා ඉහත දැක්වූ පරිදි පෞද්ගලික සේවා සැපයුම්කරුවන් වෙත මුදල් ගෙවීම් සිදු කර ඇත. ඒ අනුව පෙනී යන්නේ පසුගිය වසරේ පළමු මාස 5 තුළ, එනම් ජනවාරි 1 සිට මැයි 31 දක්වා රු. කෝටි 3කට අධික මුදලක් ගෙවා ඇති බවයි. එය මසකට රු. ලක්ෂ 60කට අධික ගෙවීමකි. අවභාවිතයේ තරම එයින් මැනවින් පැහැදිලිය.

මීට අමතරව කොළඹ නගරයේ මාර්ග පිරිසුදු කිරීමට අදාළව කොළඹ නගරයේ දිසා බල ප්‍රදේශ 6ක් වෙනුවෙන්ම එකී කාර්යයන් ඉටු කිරීම සඳහා පෞද්ගලික අංශයේ සේවා සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්ගතව ඇත. එහිදී වර්ගීකරණයන් 5ක් ඔස්සේ අතුගෑමෙන් හා පිරිසුදු කිරීම් මඟින් එකතු වන කසළ ඉවත් කිරීම හා වල් පැළෑටි ඉවත් කිරීම වෙනුවෙන් ප්‍රසම්පාදන තීරණ අනුව ගෙවීම කිරීමට කටයතු යොදා තිබේ. ඒ වර්ගීකරණයන් ලෙස අතුරු මාර්ග (පෞද්ගලික මාර්ග හැර), පදික වේදිකා, මාර්ග මධ්‍ය දූපත් හා මාර්ග දෙපස වෙන් කිරීම් හඳුන්වා දී ඇත.

ඊට අදාළ එක් එක් ගිවිසුම්ගත වීම් සඳහා මිල ගණන් කැඳවීමේදී පිරිසුදු කිරීම් සිදු කළ යුතු මාර්ගය, දුර සහ පළල ආදි තොරතුරු සඳහන් කර තිබුණ අතර, ඒ අනුව මිල ගණන්ද ඉදිරිපත් කර තිබිණි. එසේ පිරිසුදු කිරීම් වෙනුවෙන් ගෙවීම් කරනු ලබන මාර්ග අතුරින් ඇතැම් මාර්ග, මාර්ගවල කොටස්, මාර්ග මධ්‍ය දූපත් සහ වටරවුම් නඩත්තු කිරීම සහ ඒ වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු සිදු කරගැනීමට අවසර දෙමින් නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ඉඩම් අංශය විසින් පෞද්ගලික අංශයට ලබාදී තිබිණි.

මෙහිදී අනාවරණය වී ඇත්තේ නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ඉඩම් අංශය විසින් නඩත්තු කිරීම හා ඒ වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු කිරීම සඳහා අවසර දෙමින් බාහිර පාර්ශ්ව වෙත ඇතැම් මාර්ග, මාර්ග මධ්‍ය දූපත් හා වටරවුම් ලබා දී ඇති තත්ත්වයක් යටතේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශය විසින්ද පිරිසුදු කිරීම් වෙනුවෙන් ගෙවීම් කර පෞද්ගලික සේවා සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්ගත වීම තුළ බරපතළ අක්‍රමිකතාවක් සිදු ව ඇති බවයි. මෙහිදී ගෙවීම් කිරීමේදී ඉඩම් අංශය විසින් බාහිර පාර්ශ්ව වෙත පවරා ඇති කොටස් සඳහා නැවත ගෙවීමක් සිදු නොවීමට වගකීම් සහිතව ක්‍රියා කළ යුතු වුවද ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන නැත. ඒ අනුව මහා නගර සභා අරමුදල් දැඩි ලෙස අවභාවිත වීමට ඉඩහැර ඇති බවත් තහවුරු වී තිබේ.

දේවි ජුවලර්ස් (පුද්) සමාගම විසින් කොටහේන ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ වටරවුම, එම මාර්ගයේම ජම්පටා වීදිය මධ්‍ය දූපතේ – පාර මැද සිමෙන්ති දමා ඇති මාර්ග කොටස (Center Island) වටරවුම හා ජෝර්ජ ආර්. ද සිල්වා මාවතේ/ ක්‍රිස්ටි පෙරේරා මාවත හන්දියේ මධ්‍ය දූපත නඩත්තු කරන ලදී.

ඩොක්යාර්ඩ් ජෙනරල් ඉංජිනේරු සේවා (පුද්) සමාගමට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත පිරිසිදු කිරීම ලබා දී තිබුණි. එමෙන්ම Media Frontage විසින් හැව්ලොක් පාරේ මධ්‍ය දූපතද ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තුන්මුල්ල වටරවුමද නඩත්තු කරන ලදී.

කාගිල්ස් ෆුඩ් සිටි ඉදිරිපිට දක්වා ෆැෂන් බග් (පුද්) සමාගම විසින් නඩත්තු කළ අතර බම්බලපිටිය හන්දිය සිට වැල්ලවත්ත දක්වා මධ්‍ය දූපත (Center Island) පෑන් ඒෂියා බැංකුව, Hemsandu හා මර්කන්ටයිල් ඉන්වෙස්ට්, යුනියන් බැංකුව විසින් නඩත්තු කරන ලදී.

විශේෂයෙන්ම ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යටතේ දිසා බල ප්‍රදේශ 6කට අදාළව කපා ඉවත් කරන ලද ගස් අතු ඉවත් කිරීමේ කාර්යයද පෞද්ගලික සේවා සැපයුම්කරුවන් සමඟ ඇති කරගත් ගිවිසුම්වල අන්තර්ගතව තිබිණි. ඒ වෙනුවෙන් ඉහත දැක්වූ කාලය, එනම් 2025 ජනවාරි සිට මැයි 31 දක්වා කාලයට අදාළව ඒ වෙනුවෙන් දරන ලද පිරිවැය රු. හාරකෝටි විසිඅට ලක්ෂයකට (42,853,872.00) අධිකය. අවභාවිතය මෙයින් ඉතා පැහැදිලිය. මේ සියල්ල කොළඹ නගරයේ මහජනතාවගෙන් හා විවිධ ආයතනවලින් ලබාගත් බදුවලින් හා විවිධ අනුමත කිරීම්වලින් උපයාගත් ආදායම්ය.

ඉඩම් හා පරිසර කළමනාකරණ අංශය විසින් ගස් නඩත්තු කාර්යය වෙනුවෙන් ස්ථිර හා ශ්‍රම මිල දී ගැනීමේ පදනම මත බඳවාගත් සේවක කණ්ඩායම් 4ක් සහ මහා නගර සභාව සතු ස්නෝකල් රථ 2ක්, ටිපර් රථ 7ක්, බැකෝ ලෝඩර් 2ක් හා ක්රූ කැබ් 3ක් යොදාගෙන තිබුණු අතර, ඊට අමතරව කුලී පදනම මත ලබාගත් ක්‍රේන් රථ 2ක්, ස්නෝකල් රථ 2ක් හා බැකෝ ලෝඩර් 1ක් යොදවාගෙන තිබිණි. එහිදී මහා නගර සභාව සතු සේවකයන් හා යන්ත්‍ර උපකරණ සඳහා දරන ලද මාසික වැටුප්, අතිකාල දීමනා, ඉන්ධන හා වාහන අලුත්වැඩියා ආදියට අමතරව කුලී පදනම මත ලබාගත් වාහන වෙනුවෙන් 2025 ජනවාරි සිට මැයි මසට අදාළව රු. 13,185,090ක් ගෙවා තිබිණි. එසේ මහා නගර සභා අරමුදල් භාවිත කර ගස් නඩත්තු කාර්යය ගස් නඩත්තු අංශය විසින් ඉටු කරන පසුබිමක එම කාර්යය වෙනුවෙන්ම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශය විසින් මාසිකව ගෙවීම් කර තිබූ අතර, 2025 ජනවාරි සිට මැයි මාසයට අදාළව රු. 42,853,872ක් ගෙවීම් කර තිබූ බව නිරීක්ෂණය විය. ඒ අනුව ගස් කපා ඉවත් කිරීම වෙනුවෙන් පෞද්ගලික අංශය වෙත කරනු ලබන ගෙවීම නොසැලකිල්ලෙන් සිදු කර ඇති ගෙවීමක් බවත් මහා නගර සභා අරමුදල් අවභාවිත කිරීමක් බවත් නිරීක්ෂණය විය.

මීට අමතරව අපූරු ගෙවීම් කර ඇත්තේ නගරයේ සුන්බුන් ඉවත් කිරීම් වෙනුවෙනි. කිසිදු සුන්බුන් ප්‍රමාණයක් ඉවත් නොකළද ඒ වෙනුවෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ගෙවා තිබේ. ඒවා අනුමත කළ, අධීක්ෂණය කළ සියලු දෙනා මේ සඳහා වගකිව යුතුය. නිලධාරීන් මේ කටයුතු සිදු කළද මහා නගර සභාවේ දේශපාලකයෝ මේ සියල්ල පිටුපස සිටිති.

දිසා අංක 1 දිසා අංක 2A (කොටුව හා පිටකොටුව) දිසා අංක 2A (කොටුව හා පිටකොටුව හැර) දිසා අංක 2B දිසා අංක 3 දිසා අංක 4 දිසා අංක 5 යන පෙදෙස්වලට 2025 වසරේ පළමු මාස 5 තුළ සුන්බුන් ඉවත් කිරීමේ කාර්යය වෙනුවෙන් ගෙවා ඇති මුදල රු. කෝටි 6කට අධික වන අතර (රු. 63,768,104.00) එයින් රු. කෝටි පහමාරකට වැඩි මුදලක් (රු. 56,420,239.00) මහා නගර සභාව විසින් අනවශ්‍ය ලෙස සිදු කළ ගෙවීම් බවට මේ වන විට විගණනයෙන් තහවුරු වී තිබේ. විශේෂයෙන්ම කොළඹ මහා නගර සභා බලප්‍රදේශයට අයත් දිසා අංක 2B වෙත රු. 13,857,042.00ක් ගෙවා ඇත. දිසා අංක 3 වෙත රු. 14,083,798.00ක්ද දිසා අංක 4 වෙත රු. 10,281,434.00ද දිසා අංක 1 වෙත රුපියල් 500,000.00ක්ද ගෙවා තිබේ. එහෙත් ඒ දිසාවලින් සුන්බුන් කිසිවක් ඉවත් කර නැත. එසේ ඉවත් නොකළ සුන්බුන් වෙනුවෙන් මෙලෙසින් ගෙවීම් කර තිබීම සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම දැඩි නීති-රීති ක්‍රියාත්මක විය යුතුය. මෙහි අරුමය වන්නේ ඉහත එකදු දිසාවකින් හෝ කිසිදු ආදායමක් නොලැබී තිබීමය.

මහජන මුදල් අවභාවිත කරන්නන්ට එරෙහිව මේ වන විට නීතිය ක්‍රියාත්මක වන ආකාරය අපට වාර්තා වේ.

කොළඹ මහා නගර සභාවේ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අපි පසුගිය සතියේ පළමු පැමිණිල්ල ඉදිරිපත් ක‍ළෙමු. මේ දෙවැනි පැමිණිල්ල ලෙස සලකා ඒ ගැන අවධානය යොමු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එමෙන්ම කොළඹ නගරාධිපතිනියටද මේ ගැන දැඩි විනය ක්‍රියාමාර්ග හා නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි වනු ඇත.