ලොකු නැව්වලින් හොරෙන් හලන තෙල් ලංකාවේ මුහුදු සීමාව වනසන හැටි

oil tanker floating in the sea 2021 12 09 11 04 14 utc scaled

බොර තෙල් ලෝක දේශපාලනයේ බලවත් සත් තීරණාත්මක සාධක අතරින් එකක් බවට පත් වූයේ වසර බොහෝ ගණනකට පෙර සිටමය. කාර්මිකකරණ විප්ලවයක් පටන්ගත් මොහොතේ සිටම ඒ කෙරෙහි දැඩි අවධානයක් මතු වන්නට වූයේ ලොව ප්‍රධානතම බලශක්ති ප්‍රභවය එය බවටද පත් කරමිනි. විකල්ප බලශක්ති ප්‍රභේද කෙරෙහි අවධානය යොමු වුවද අදටත් බොරතෙල්වලට ඇති ස්ථානය තීරණාත්මකය. එමෙන්ම බොරතෙල් යනු පරිසර දූෂණයට හේතු වන තීරණාත්මක සහ ප්‍රබලතම සාධකයකි. බොරතෙල් ප්‍රවාහනය කෙරෙනුයේ තරමක අන්තරායකර මුහුදු ගමන් මාර්ගවලිනි.

x 77 gggggggg

ටොන් ගණන් බරැති බොරතෙල් බහලුම් දින ගණනාවක් තිස්සේ මුහුදු මාර්ග ඔස්සේ රටවල් කරා ප්‍රවාහනය කෙරෙති. මුහුදේ ස්වභාවය නිරන්තරයෙන්ම සන්සුන් ස්වභාවයක් නොගන්නා නිසාත් නෞකාවල තත්ත්වයද හිටි අඩියේ වෙනස් වන නිසා සමුද්‍රීය පරිසරයට බොරතෙල් එක් වීම පාලනය කිරීමද අතිශය සංකීර්ණ ක්‍රියාවකි. නාවික අනතුරුවලද අඩුවක් ඇත්තේ නැත. ලංකාව යනු මහා පරිමාණ නාවික අනතුරු කිහිපයකින්ම බැට කෑ රටකි. ඉන් සිදු වූ හානිය අදටත් වලංගුය. ලංකාවට අයත් මුහුදු කලාපයේ මෙන්ම ඒ ආසන්න මුහුදු කලාපයේ සිදු වූ අනතුරුවලින් පවා මෙරටට බොරතෙල් ගසා ගෙන ආවෙිය.

බොහෝ අවස්ථාවල මුහුදට තෙල් එකතු වනුයේ නෞකාවලිනි. එසේත් නොමැති නම් බෝට්ටුවලින් වුවද මුහුදට තෙල් වැටිය හැකිය. යම් හෙයකින් මුහුද මැදදී නෞකාවක් අනතුරට ලක් වූ විටද මුහුදට තෙල් එකතු විය හැකිය. නැව්වල ඇති කාන්දු වීම් හරහාද තෙල් එකතු වේ. ඇතැම් විට නෞකාවේ සිටින නිලධාරීන්ගේ දැනුවත්භාවය මතම රහසේ මුහුදට තෙල් අතහැර දමන අවස්ථාද ඇත. ඇතැම් විට බහුදින ධීවර යාත්‍රාවලින් පවා මුහුදු ජලයට තෙල් එකතු වේ. මුහුද අභ්‍යන්තරයේ ඇති බොරතෙල් කැණීමකින් ගොඩට ගෙන එන අවස්ථාවකදී වුවද මුහුදට තෙල් එකතු විය හැකිය.

sri lanka ship 1

ලංකාව ගත් කළ මේ සම්බන්ධයෙන් වන ආසන්නතම අනතුර සිදුවූයේ පසුගිය දෙසැම්බරයේදීය. ඛනිජතෙල් සංස්ථාවට අයත් තෙල් පිරිපහදු කරන ස්ථානයට, නෞකාවක සිට තෙල් ගොඩබිම දෙසට ගෙන යනුයේ මුහුද යටින් දිවෙන නළ මාර්ග පද්ධතියක් හරහාය. බොහෝ විට මේවා වසර බොහෝ ගණනක් පැරැණිය. එහි සිදු වූ කාන්දු වීමක් හේතුවෙන් මේ තෙල් තොගය විසිරී තිබුණේ කොළඹ අලුත් වරායේ සිට නාවික සැතපුම් තුන හමාරක පමණ ඈතට වන්නටය.

කොළඹ වරාය ආසන්න ගැඹුරු මුහුදේ සිට ඛනිජ තෙල් සංස්ථාව වෙත තෙල් ප්‍රවාහනය කෙරෙන බෝයාවක් ඉකුත් වසරේ දෙසැම්බර් 14 වැනිදා අලුයම සිදු වූ පිපිරීමෙන සිදු වූ කාන්දුව හේතුවෙන් බොර තෙල් මෙට්‍රික් ටොන් දෙසීයක් පමණ ගැඹුරු මුහුදට එක්ව තිබිණි. මේ පිපිරුම සිදුව තිබුණේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් බොරතෙල් ගොඩ බෑමේ බෝයාවට, කොළඹ වරායට ආසන්න ගැඹුරු මුහුදේ නැංගුරම් ලා ඇති “MT ASP Avana” නෞකාවේ සිට බොරතෙල් ගෙන යන නළයකය. ඉන් විසිරුණු තෙල් පැල්ලම පැය කිහිපයක් ඇතුළත ඉවත් කිරීමට කටයුතු කොට තිබිණි.

new diamond fire tender scaled

පසුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් අදාළ නෞකාව සහ ඛනිජ තෙල් සංස්ථාව යන දෙපාර්ශ්වය අතින්ම වරදක් සිදුව ඇති බවය. එමෙන්ම මේ සිදුවීම සම්බන්ධයෙන් වරායට ආසන්න ගැඹුරු මුහුදේ නැංගුරම් ලා තිබූ “MT ASP Avana” නෞකාව වරදක් සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ නිසා ඇමරිකානු ඩොලර් හතළිස් හත්දහසකට එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ එකසිය පනහකට ආසන්න මුදලක් දඩයක් ලෙස පැනවීමටද බලධාරීන් කටයුතු කොට තිබිණි.

මේ සිදුවීම සම්බන්ධයෙන් වූ සොයා බැලීම්වලදී අනාවරණය වී ඇත්තේ තෙල් ගෙන යන එම බෝයාව වටා යම් හෙයකින් තෙල් විසිරුමක් සිදු වුවහොත් ඉන් ආරක්ෂා වීම සඳහා කිසිදු පූර්ව උපක්‍රමයක් හෝ අනුගමනය කොට නොමැති බවය. සාමාන්‍යයෙන් නම් තෙල් පොම්ප කිරීමට පෙර ඒවා විසිරුණ හොත් එය ව්‍යාප්ත නොවන අයුරින් සීමා සලකුණු කෙරේ. එහෙත් මෙහිදී එවැන්නක් සිදු නොමැති බව සඳහන්ය.

ප්‍රංශ සැටලයිට් තාක්ෂණය ආධාරයෙන් සිදු කළ නියමු ව්‍යාපෘතියකදී අනාවරණය වී තිබුණේ වසරකදී තෙල් ලීටර් 5,000ක් පමණ මෙරට මුහුදු කලාපයට එක් වන බවය. එය එරට ආධාර යටතේ මෙරටට නොමිලයේ ලබාදී තිබූ සේවාවකි. වසරක කාලයක් මෙරට මුහුදු කලාපය නිරීක්ෂණය කොට ඇත. එය මෙරට මුහුදු කලාපයේ සිදුවන ක්‍රියාකාරකම් දැනගැනීමට කළ එක නිරීක්ෂණ ක්‍රමවේදයක් පමණි. ඒ කාලය ඇතුළත මෙරට මුහුදු කලාපයට හොර රහසේ අතහැර දමා යන බොරතෙල් තොග ගැන බොහෝ තොරතුරු අනාවරණය වී ඇත. ඒ එකදු සිදුවීමක් හෝ ඉන් පෙර මෙරට බලධාරීන්ට වාර්තා වූ ඒවා නොවේ. ඒ තොරතුරු නිසා මෙරට මුහුදු කලාපයට රහසේ තෙල් අතහැර දමා ගිය නැව් ගණනාවකට දඩ පනවා ඇත.

මෙරට මුහුදු කලාපය, එනම් මෙරට නාවික සීමාව හරහා නැව් තුන් හාරසීයක් දිනකට ගමන් කරන බව සඳහන්ය. ඒ අතරින් බොහෝ නැව් හොර රහසේ මෙරට මුහුදු කලාපයට තෙල් අතහැර යන බවට මේ තුළින් නිරීක්ෂණය වී ඇත. ඒ ලැබුණු දත්ත මත සියලු නැව් සඳහා දඩයක් පනවා ඇතැයි පැවැසේ. ඒ වාර්තා අනුව ආසන්න වශයෙන් එක මාසයක් තුළදී මෙරට මුහුදු සීමාවට පැමිණෙන නැව් හොර රහසේ තෙල් ලීටර් 5,000ක් පමණ හලා දමති. ඒ ගැන මෙරට බලධාරීන්ට කිසිදු දැනුම්වත්භාවයක් නැත. තෙල් විසිරුමක් එය ඒ සැණෙකින් නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් අදටත් ලංකාවේ ක්‍රියාත්මක නැත. මේ සම්බන්ධයෙන් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් වී ඇතත් තවමත් ඒ සඳහා අනුමැතිය හිමිව නැත. එය මහා භාණ්ඩාගාරයේ සිර වූ ලේඛන ගොන්නෙහි එකක් බවට පත්ව ඇත්තේ මෙරටට ආදායම් උපයා ගත හැකි තවත් එක මාර්ගයක් අවුරා දමමිනි. යම් හෙයකින් මෙරට මුහුදු කලාපයට හොර රහසේ අතහැර දමන තෙල් තොග ගැන එවෙලෙහිම තොරතුරු දැනගත හැකි නම් එම නෞකාවලට දඩ පැනවිය හැකිය. එහෙත් එවැන්නක් නොමැති නිසා තෙල් පැල්ලම් ගැන තොරතුරු වාර්තා වනුයේ තරමක් ප්‍රමාද වීය. එවිට වරද සිදු කරන නෞකා සිංගප්පූරු මුහුදු සීමාවද ඉක්මවා ගමන් කරමින් සිටිය හැකිය.

නියාමන ව්‍යාපෘතියක් සේ පෙර පැවැතියාටත් වඩාදියුණු තාක්ෂණයකින් යුතු නෞකා සහ මුහුදු කලාපයේ හැසිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත හැකි වන පරිදි සකස් කළ ව්‍යාපෘතියක යෝජනාවක් ඉදිරිපත් කර ඇතත් ඒ සඳහා මුදල් අමාත්‍යාංශ අනුමැතිය මේ වන තුරුත් අනුමැතිය හිමිව නොතිබීම එක අතකින් ගැටලු රැසක් මතු කරන්නකි. ලෝකයේ සම්මත ක්‍රමවේදය නම් යම් හෙයකින් නෞකාවකින් හෝ නාවික යාත්‍රාවකින් කුඩා හෝ තෙල් ප්‍රමාණයක් යම් මුහුදු කලාපයකදී මුහුදට එක් වූයේ නම් ඒ පිළිබඳව අදාළ රටේ බලධාරීහු දැනුවත් කිරීමය. තෙල් ඉසිරීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන සම්මුතිද ගණනාවකි. ඒවා ප්‍රකාරව නම් යම් හෙයකින් මුහුදට තෙල් එකතු වීමක් සිදු වූයේ නම් ඒ බව වහාම දැනුම් දිය යුතුව ඇත. හොර රහසේ මුහුදට එකතු වන තෙල් ඇතුළු අනෙකුත් රසායන පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍යස්ථානයක් හෝ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා නැති නිසාම යම් හෙයකින් ලංකා මුහුදු සීමාවට තෙල් එක් වූයේ නම් ඒ බව යම්කිසි අයකු විසින්ම දැනුම් දිය යුතුය.

තෙල් විසිරීම් ඇතුළු නාවුක අනතුරු හා සම්බන්ධයෙන් ස්ථාපිත කොට ඇති ඒකාබද්ධ තොරතුරු මධ්‍යස්ථානයට ලැබෙන දත්ත හා දැනුම්දීම් ද මේ තොරතුරු ලැබෙන එක් ක්‍රමයකි. ක්‍රියාත්මක වීම් සිදු කෙරෙනුයේ ඒ ලැබෙන තොරතුරු ඔස්සේය.

ඇතැම් කුඩා කුඩා සිදුවීම් වරාය අභ්‍යන්තරයෙන් වාර්තා වේ. ඒවා දැන ගන්නේ නිලධාරීන් හරහාය. එහෙත් එසේ නොවන අවස්ථාද පවතින බව පැවැසේ. එහි ආසන්නතම සිදු වීම ලෙස පසුගිය මාසයකදී මුහුදු ජලයට තෙල් විසිරුණු විගස එය තව දුරටත් එක තැනක නොරැඳී විසිරී යන අයුරින් ක්‍රියාමාර්ග අනුගමනය කොට ඇත. එවැන්නකදී සිදු වනුයේ තෙල් පැල්ලමේ ආරම්භය සොයා ගැනීමට නොහැකි වීමය. ඇතැම් විටෙක සමහර නිලධාරීන්ගේ පවා සහාය මේ සඳහා හිමි වන බවට සැකයක් නැත. මේ තෙල් පැල්ලම් විසිරුවා දැමීම සඳහා අනුගමනය කරන ක්‍රමය ඇතැම් නිලධාරීන්ට රහසේ සිදු කළ නොහැකිය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් ඒ පිළිබඳව දැන ගැනීමට ප්‍රථම එය විසිරුවා දැමූ අවස්ථාවක් පසුගිය මාසයකදී වාර්තා වී ඇත. ආසන්න වසර කිහිපයකදී එවන් වංචනික සිදුවීම් කිහිපයක්ම වාර්තා වූ බව සඳහන්ය.

මෙවන් තෙල් විසිරුමකදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තමන්ට හිමිව ඇති බලතල ප්‍රකාරව අනිවාර්යයෙන්ම අදාළ නෞකාවට හෝ යාත්‍රාවට දඩ නියම කරයි. එම දඩයෙන් නිදහස් වීම සඳහා මෙවන් කූට උපක්‍රම අනුගමනය කරන අවස්ථාද නැත්තේම නොවේ. පසුගිය වසරේදී එවන් එක් සිදු වීමක් වාර්තා වී ඇත. මින් පෙර වසරවල එවන් සිදු වීම් ගණනාවක් සිදුව ඇතැයි පැවැසේ. පසුගිය වසරේදී මෙරට මුහුදු කලාපයේ තෙල් විසිරීමේ සිදුවීම් තුනක් පමණ වාර්තා වී ඇත. මේ සියල්ල අතරේ වාර්තා නොවන සිදුවීම්ද පැවැතිය හැකිය.

“දිට්වා” සුළි කුණාටුව අතරේ හැමූ සුළඟින් සිදු වීමට ගිය නාවුක අනතුරකින් රට බේරී ඇත්තේ අනූනවයෙනි. කුණාටුව හැමූ දිනවල මෙරට මුහුදු සීමාව හරහා ගමන් කරමින් තිබූ බොරතෙල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැට හය දහසක් පුරවා ගත් දැවැන්ත නෞකාවක එන්ජිම ගිනි ගැනීමකට ලක්ව හදිසියේ අක්‍රිය වී ඇත. සුළි කුණාටුවත් සමඟ හමා ආ තද සුළඟින් නෞකාව පාලනයෙන් තොරව එහා මෙහා පැද්දෙමින් තිබී ඇත්තේ අනතුරක් වීමේ අවදානමද මතු කරමිනි. යම් අනතුරක් වුවහොත් එය පාලනය කිරීමට තරම් ප්‍රමාණවත් සම්පත්ද මෙරට නැතැයි සඳහන්ය. නාවුක බලධාරීහු මේ නෞකාව අනතුරට පත් වේ යැයි බිය වී ඇත්තේද ඒ නිසාමය. එවන් දැවැන්ත අනතුරකදී එය වළක්වා ගැනීමට තරම් ප්‍රමාණවත් සහ විශාල ටග් යාත්‍රා ලංකාව සතු නොවේ. යම් හෙයකින් එම නෞකාව සුළි කුණාටුව මධ්‍යයේ පෙරළී ගියේ නම් එහි ඇති බොරතෙල් තොග සැඩ සුළං පහරත් සමඟ ලංකාවේ මුහුදු කලාපය ඇතුළු වෙරළ සීමාව ආක්‍රමණය කිරීමට ඉඩ තිබිණි. එහෙත් වාසනාවකට මෙන් එවැන්නක් සිදු වූයේ නැත. සුළං පහර සමඟ ලංකාවට අවදානම ඇති කලාපයෙන් නැව ක්‍රමයෙන් ඉවත්ව යද්දී සිංගප්පූරුවේ මැදිහත් වීමෙන් විශාල ටග් යාත්‍රාවකින් එම නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමට කටයුතු කොට ඇත.

හතර වටෙන්ම මහා මුහුදෙන් වට වූ භූමියක පිහිටි දූපත් රාජ්‍යයක් ලෙසත් නාවුක ගමන් මාර්ගයක සන්ධිස්ථානීය පිහිටීමක් ඇති රටක් ලෙසත් ඕනෑම නාවුක අනතුරකදී එයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා අවශ්‍ය සම්පත් තිබිය යුතුය. එහෙත් අවාසනාවකට මෙන් එවැන්නක් සඳහා තවමත් රටක් ලෙස අපගේ සැක සහිතය. යන්තම් සැහීමකට පත් විය හැකි අයුරේ උපකරණ සහ යාත්‍රා තවදුරටත් ප්‍රමාණවත් නොවනු ඇත. නාවුක අනතුරු ආදිය රටක් ලෙස අපට අමුත්තක් නොවන්නේ ආසන්නයේ සිදු වූ නාවුක අනතුරු කිහිපයක් හේතුවෙන්ම දරුණු ගණයේ පාඩම් කියා දුන් නිසාය. දැවැන්ත පාඩුවක් ඇති වූ නිසාය. ඉදිරියේදී මේ අනතුරු ඇති වීමේ අවදානම වැඩි වනවා මිස අඩු වීමක් නම් නොවනු ඇත. එය පැහැදිලිය. කාලගුණ, දේශගුණ විපර්යාස ක්‍රමයෙන් තීව්‍ර වෙමින් පවතී. එහි විපාකද බොහෝ දරුණු මුහුණුවරක් ගෙන ඇත්තේය. කුමක් පුරෝකථනය කෙරුණද යථාර්ථය බොහෝ වෙනස්ය. විද්‍යාඥයන්ගේ අනාවැකි, ගණන් තැබීම් කෙතරම් දුරට පිළිගත හැකිද යන්න ඇත්තේද කුකුසකි. එක්කෝ ඒවා කල් තියා සිදු වේ. එසේත් නොමැති නම් පුස්සක් බවට පත් වේ. සිදු වේ යැයි අනුමාන කෙරෙන දේ සිදුවනුයේද දෙතුන් ගුණයක වැඩි වීමක් සහිතවය.

අනෙක් අතට මෙරට වරාය වෙත පැමිණෙන නැව් ගණන මෙන්ම මෙරට මුහුදු සීමාව හරහා ගමන් කරන නෞකා ප්‍රමාණයද ක්‍රමයෙන් ඉහළ අගයක් කරා ගමන් කරයි. එවන් තත්ත්වයකදී අනිවාර්යයෙන්ම ඕනෑම දෙයකට මුහුණ දීම සඳහා පෙර සූදානමක් පැවැතිය යුතුමය.

යම් හෙයකින් තෙල් විසිරුමක් සිදු වුවහොත් එය තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට හෝ එය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් පිරිස් බලයක් සහිත විය යුතුය. ඒ සඳහා අවශ්‍ය උපකරණ අනිවාර්ය සාධකයකි. තෙල් ඉසිරුමකදී වෙන රටවල නම් ඒ පැල්ලම වටා එය තවදුරටත් ව්‍යාප්තව නොවන අයුරින් සීමාවක් සකසයි. එවිට තෙල් පැල්ලම ඒ සීමාවට පමණක් කොටුව පවතින නිසා එය පහසුවෙන් ඉවත් කර ගත හැකිය. ලංකාවට නම් එවන් පහසුකමක් නැත. ඇත්තේද කුඩා ප්‍රමාණයේ සීමා සලකුණු කළ හැකි පහසුකම්ය. විශාල රැල්ලක් සමඟ දැඩි සුළඟට පවා ඔරොත්තු දෙන අයුරින් සීමා සලකුණු කළ හැකි උපකරණ නොමැති බව පැවැසේ. මුල් කාලීනව ඒවා පවතින බව පැවැසුණද යම් යම් සිදුවීම්වලදී ඒ පවතින බව පැවැසූ උපකරණ හා සම්පත් ප්‍රමාණවත් තරමින් හෝ නොමැති බවටද අනාවරණය වී ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව ආදී ආයතන ගණනාවක් සමඟ පසුගිය වසරේදී පැවැති සාකච්ඡාවකදී මෙරටට පැමිණෙන බහාලුම් නෞකාවල අන්තර්ගත රසායන බහාලුම්, හානිදායක බහාලුම්, අන්තරායක බහාලුම් ආදිය පිළිබඳව ලැයිස්තුවක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටියද යම් හෙයකින් එවන් බහලුම් නෞකාවකින් තෙල් හෝ වෙනත් රසායන ඉසිරුමක් වුවහොත් එය අධීක්ෂණය කිරීමේ වගකීම ඔවුන්ට පැවැරෙන නිසා වරාය අධිකාරියේ වගකිව යුතු ඇතැම් නිලධාරීන් එවැනි ලේඛනයක් ලබා දීම අවශ්‍ය නොවන බවට කරුණු දක්වා ඇතැයි පැවැසේ.

බහලුම් නෞකාවක අඩංගු භාණ්ඩ ලැයිස්තුව බොහෝ දිගුය. එහෙත් රසායන බහලුම්, හානිදායක බහලුම්, අන්තරායක බහලුම් ආදිය ගෙන ආ යුත්තේ වෙනමය. එය ජාත්‍යන්තරව පවතින නීතියකි. “එක්ස්ප්‍රස් පර්ල්” නෞකා අනතුරේදී එහි අඩංගු අන්තරායකර හා රසායන බහලුම් පිළිබඳව කල් තියා තොරතුරු වාර්තා ලබා නොදුන්නේ ඇයිද යන්න පවා ඇත්තේ කුකුසකි. එය වෙනම කතාවකි. එවැනි තොරතුරු අදාළ බලධාරීන් වෙත ලබා නොදී කුමන හෝ රටකට අයිති ජල තීරයකට හෝ වරායකට නෞකාවක් ඇතුළු කළ නොහැකිය. අනතුරුදායක, අන්තරායකර හෝ රසායන සහිත බහලුම් පිළිබඳව ලැයිස්තුවක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ වෙත ලැබෙන්නේ නම් යම් අනතුරක් ඇති වීමට පෙර ඒ සඳහා යම් තරමකින් හෝ සූදානම් සකසා ගත හැකි වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. එහෙත් ඒ සඳහා ඉල්ලීම් කළද ඒ කනකට නොගෙන වරාය අධිකාරිය ඇතුළු ඇතැම් පාර්ශ්ව සිය අධිකාරී බලය පතුරවන අයුරක් පෙනෙන්නට ඇතැයි චෝදනා නැඟේ.

දැනුවත්ව හෝ නොදැනුවත්ව මුහුදට තෙල් විසිරීම යනු සාගර කලාපයටම බලපෑම් ඇති කරන්නකි. එය මුහුදු ජීවීන්ට මරණය වුවද ගෙන දිය හැකිය. පරිසර පද්ධතියම විනාශ වී යයි. තල්මසුන්, ඩොල්ෆින් ඇතුළු ක්ෂිරපායීන්ගේ සිට කුඩා සාගර මසුන්ගේ කරමල් තෙල්වලින් වැසී යා හැකිය. ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ මෙන්ම ඇසට නොපෙනෙන කුඩා ප්ලවාංග ඇතුළු කුඩාම ජීවීන්ද තර්ජනයට ලක්වේ. ලෝකයේ කාබන්ඩයොක්සයිඩ් වැඩිම ප්‍රමාණයක් උරා ගන්නා සාගර ශාක පද්ධතිය මේ හේතුවෙන් මුහුණ දෙනුයේ සුළු පටු අභියෝගයකට නම් නොවේ. ඒවාට හානි වීම යනු මෙරට ස්වාභාවික චක්‍ර බොහෝ ප්‍රමාණයක් බිඳ වැටීමකි. ධීවර කර්මාන්තය යැපෙනුයේ ආහාර දාම මතය. ප්ලවාංග ආහාරයට ගන්නා කුඩා මසුන් මියැදුණු විට උන් මත යැපෙන අනෙකුත් මසුන් විශේෂද හිඟ වී යයි. තෙල් හේතුවෙන් ආහාර දාම බිඳ වැටෙනුයේ ධීවර කර්මාන්තයද අනතුරේ හෙළමිනි. එය එකවර ඇසට පෙනෙන හානියක් නොවේ. එහෙත් එය මාස ගණනාවක්, වසර ගණනාවක් බලපෑම් කළ හැකි සාධකයකි.

oil tanker floating in the sea 2021 12 09 11 04 14 utc scaled

“දිට්වා” සුළි කුණාටුවෙන් වූ පාරිසරික හානිය සුළුපටු නොවේ. කුණාටුව පැවැති සමයෙහි ඇතැම් දිනවල මෙරට මෝය කටවල ආසන්නයේ ඇති ජලයෙහි පි.එච්. අගය බින්දුව බවට පත්ව ඇතැයි වාර්තා වී ඇත. මුහුදු ජලය භාෂ්මිකය. දින කිහිපයක හෝ පැය කිහිපයකට එහි අම්ල ගතිය ක්‍රමයෙන් වැඩි වී පී.එච්. අගය බින්දුව බවට පත් වීම එතරම් සුබදායක නැත. ගංවතුර සමඟ මුහුදට එක් වූ තෙල් ඇතුළු රසායන ප්‍රමාණය ගණනය කිරීමක් සිදු කළ යුතු යැයි පැවැසුවද තවමත් එවැන්නක් හෝ සිදුව නොමැත. එය අද, හෙට නොව මතු අනාගතයේදී නොපෙනෙන හානියක් කරනු ඇත.

සවනි ශේශාධි – මව්බිම