මාදැල් යාන්ත්‍රිකකරණයෙන් වෙරළ පද්ධතියට දැඩි තර්ජනයක්! රජය ගත් තීරණයට පරිසර යුක්ති කේන්ද්‍රයේන පැසසුම්

මාදැල් යාන්ත්‍රිකකරණය

ට්‍රැක්ටර් වින්ච් (Tractor Winch) යොදාගනිමින් සිදුකරන මාදැල් කර්මාන්තය හේතුවෙන් වෙරළාසන්න මුහුදු පරිසර පද්ධතියට සහ සුළු ධීවර ප්‍රජාවට බරපතල හානි සිදුවන බව පෙන්වා දෙමින්, එම ක්‍රමය තහනම් කිරීමට රජය ගත් තීරණය පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) ඇගයීමට ලක් කරයි.

විශාල පරිසර හානි

සාම්ප්‍රදායිකව කිලෝමීටර් 1.5ක් පමණ වන මාදැල් දුර ප්‍රමාණය, ට්‍රැක්ටර් භාවිතය නිසා කිලෝමීටර් 8-10 දක්වා ඉහළ ගොස් ඇත. මෙහි හානිය මුහුදු පතුල හූරා දමන “බොටම් ට්‍රෝලිං” (Bottom Trolling) ක්‍රමයට සමාන වන අතර, එමගින් මසුන් බෝවන ස්ථාන සහ විශේෂයෙන්ම කැස්බෑ බිත්තර විනාශ විනාශ වන බවයි පෙන්වා දෙන්නේ.

ජෛව විවිධත්වයට හානි

පරිභෝජනයට ගත නොහැකි කුඩා මසුන් විශාල වශයෙන් දැලට හසුවීම සහ වෙරළ දිගේ ට්‍රැක්ටර් ධාවනය නිසා වෙරළ පද්ධතිය විනාශ වීම සිදු වේ.

සුළු ධීවරයින්ගේ ජීවනෝපායට තර්ජන

නොගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන 37,000ක පමණ සුළු ධීවර ප්‍රජාවට මසුන් හිඟවීම නිසා ඔවුන්ගේ ජීවනෝපාය දැඩි අර්බුදයකට ලක්ව ඇත.

දැනටමත් මෙය නීති විරෝධී ක්‍රියාවක්

මෙම යාන්ත්‍රික පන්න ක්‍රමය ධීවර පනත, වෙරළ සංරක්ෂණ පනත සහ ජාතික පාරිසරික පනත ඇතුළු පනත් කිහිපයක්ම උල්ලංඝනය කරන්නකි. මෙය අතීතයේදී “නියමු ව්‍යාපෘතියක්” ලෙස දේශපාලන හිතවත්කම් මත ආරම්භ වූවක් බවද මේ වන විට හෙළි වී ඇත.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NARA) ආයතනය පවා මෙම ක්‍රමය හානිකර බව තහවුරු කර ඇති බැවින්, පරිසර යුක්ති කේන්ද්‍රය රජයෙන් ඉල්ලා සිටින්නේ ට්‍රැක්ටර් මගින් මාදැල් ඇදීම තහනම් කිරීමට ගත් තීරණය කිසිදු හේතුවක් මත වෙනස් නොකරන ලෙසයි.