පිට ගෑනුන්ගෙන් ජනගහන කුට්ටම අනන්න ගිය කොරියානු ලොක්කෙකුගේ පට්ටම ගැලවේ

South Korea's low birth rate

දකුණු කොරියාවේ ජින්ඩෝ (Jindo) ප්‍රාන්තයේ ප්‍රධානියා විසින් ශ්‍රී ලංකාව සහ වියට්නාමය සම්බන්ධ කරගනිමින් සිදුකළ මතභේදාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ඔහුව ධූරයෙන් ඉවත් කිරීමට එරට පාලක පක්ෂය පියවර ගෙන තිබේ.

දකුණු කොරියාවේ පවතින අඩු උපත් අනුපාතයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් “අවිවාහක කතුන් ආනයනය කළ යුතු” බවටත් එසේ ගෙන්වන කාන්තාවන් එරට ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන තනිකඩ තරුණයින්ට විවාහ කර දිය යුතු බවටත් ඔහු එරට පරිපාලන සංසදයකකදී ප්‍රකාශ කර තිබුනා.

මෙම ප්‍රකාශය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ දැඩි මහජන කෝපයක් සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විරෝධයක් එල්ල වූ අතර අද (09) කොරියානු පාලක පක්ෂයේ උත්තරීතර මණ්ඩලය, කිම් හී සූ ව වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් නෙරපා හැරීමට ඒකමතිකව තීරණය කර තිබෙනවා.

දකුණු කොරියාව ලොව අඩුම උපත් අනුපාතයක් සහිත රටක් වන අතර ඉදිරි වසර 60 තුළ ජනගහනය අඩකින් පමණ අඩුවනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.

තම ප්‍රකාශය හරහා ග්‍රාමීය ජනගහන ගැටලුව ඉස්මතු කිරීමට උත්සාහ කළ බව ජින්ඩෝ ප්‍රධානියා පැවසුවද, ඔහු භාවිතා කළ වචන නුසුදුසු බව පසුව පිළිගෙන තිබේ.