ක්‍රිකට් ලෝක කුසලානයක උණුසුම යළිත් ලොව පුරා පැතිරෙන්නට පටන් ගෙනය. මෙවර පැවැත්වෙන්නේ 10 වැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියයි. ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාවේද සත්කාරකත්වයෙන් පැවැත්වෙන බැවින් දෙස් විදෙස් ක්‍රීඩකයන්ගේ දස්කම් සියැසින් දැක-බලාගැනීමේ කදිම අවස්ථාවක් ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ට උදා වී තිබේ.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පිල තරග වදින්නේ ‘බී’ කාණ්ඩයෙනි. ඉන්දියාව ඇතුළත් වන්නේ ‘ඒ’ කාණ්ඩයටය. කණ්ඩායම් 20ක් කාණ්ඩ 4ක් යටතේ මාසයක් පුරා කුසලානය හඹා යෑමේ සටනට එක් වී සිටින අතර, මූලික වටය, සුපිරි අට වටය සහ අවසන් පූර්ව වටයෙන් පසුව විස්සයි20 අලුත්ම ශුරයන් කවුරුන්දැයි තීන්දු කරන අවසන් මහා තරගය මාර්තු 8 දා ඉන්දියාවේ අහමදාබාද් නුවරදී පැවැත්වෙයි. එහෙත් අවසන් මහා තරගයට පාකිස්තානය සුදුසුකම් ලබන්නේ නම් එම තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලන විරසකය හේතුවෙනි.
මෙවර ලෝක ශූරයන්ට හිමි වන ත්‍යාග මුදල අ.ඩො. මිලියන 3ක් වන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රු. කෝටි 93කට ආසන්න මුදලකි. අනුශූරයන්ට අ.ඩො. මිලියන 1.6ක් (රු. කෝටි 50කට ආසන්න මුදලක්) පිරිනැමෙන අතර, අවසන් පූර්ව වටයට එක්වන කණ්ඩායම්වලට අ.ඩො. 7,90,000ක් ද (රු. කෝටි 25ක් පමණ) පස්වැනි ස්ථානයේ සිට 12 වැනි ස්ථානය දක්වා පිවිසෙන කණ්ඩායම්වලට අ.ඩො. 3,80,000ක් ද (රු. කෝටි 12කට ආසන්න මුදලක්) පිරිනැමේ. තරගාවලියට සහභාගිත්වය වෙනුවෙන්ද අ.ඩො. 2,50,000 බැගින් (රු. කෝටි 8ක් පමණ) මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
කුසලාන ඉතිහාසයේ පිතිකරුවන් අතර මෙතෙක් වැඩිම ලකුණුලාභියාගේ වාර්තාව රැකගැනීමට ඉන්දියාවේ විරාට් කෝලි සමත් වී ඇත්තේ තරග 35කදී ලකුණු 1,292ක් රැස් කරමිනි. ඊට ඇතුළත් අර්ධ ශතක ගණන 15කි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මහේල ජයවර්ධන තරග 31කදී ලකුණු 1,016ක් රැස් කළ අතර, ඊට ශතකයක් සහ අර්ධ ශතක 6ක් ඇතුළත්ය. බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා වන අතර, ඔහු තරග 43කදී දවාගත් කඩුලු සංඛ්‍යාව 50කි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග තරග 31කදී කඩුලු 38ක් දවාගත් අතර, තරග 19කදී කඩුලු 37ක් ලබා සිටින වනිඳු හසරංගට විස්සයි20 ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලැබූ ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත් වීමට අවශ්‍ය වී ඇත්තේ තවත් කඩුලු 2ක් පමණි.
2007

දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් පැවති මංගල විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශූරතාව දිනාගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය පිල සමත් විය. අවසන් මහා තරගයේදී ඔවුන් අතින් ලකුණු 5ක සියුම් පරාජයක් උරුම කරගත්තේ ඉන්දියාවේ සම්ප්‍රදායික පසමිතුරන් වන පාකිස්තානයයි. ඉන්දීය පිලේ ඉර්ෆාන් පතාන් තරගයේ වීරයා ලෙසත්, පාකිස්තාන පිලේ ශහීඩ් අෆ්රිඩි තරගාවලියේ වීරයා ලෙසත් සම්මාන දිනාගත්හ. මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාවට සුපිරි අට වටයේදී තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.
2009

එංගලන්තයේ සත්කාරකත්වය යටතේ පැවති දෙවැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශූරතාව දිනාගැනීමට සමත් වූයේ යූනිස් ඛාන්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තාන පිලය. අපරාජිතව අවසන් මහා තරගයට පිවිසි කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිලට කඩුලු 8ක පරාජයක් අත් කරගෙන, අනුශූරතාවෙන් සෑහීමට පත් වීමට සිදු විය. ශහීඩ් අෆ්රිඩි තරගයේ වීරයා සම්මානය හිමි කරගත් අතර, තරගාවලියේ වීරයා සම්මානය අත් කර ගැනීමට තිලකරත්න ඩිල්ෂාන් සමත් විය.
2010

බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සත්කාරකත්වයෙන් පැවති තුන්වැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පෝල් කොලිංවුඩ්ගේ නායකත්වය යටතේ එංගලන්ත පිල සමත් විය. අනුශූරතාවට හිමිකම් කීවේ එංගලන්තය හමුවේ කඩුලු 7කින් පරාජයට පත් වූ ඔස්ට්‍රේලියානු පිලය. එංගලන්ත පිලේ කීස් වෙටර් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, කෙවින් පීටර්සන් තරගාවලියේ වීරයා බවට පත් විය. කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වූ අතර, ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 7කින් පරාජයට පත් වීමෙන් අවසන් තරගය අහිමි විය.
2012

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවති සිව්වැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගනු ලැබුවේ ඩැරන් සැමිගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් පිලය. මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා පිල අවසන් තරගයට පිවිසීමට සමත් වූ අතර, කොදෙව්වන් හමුවේ පරාජයට පත් වූයේ ලකුණු 36කිනි. කොදෙව් පිලේ මාලන් සැමුවෙල්ස් තරගයේ වීරයා සම්මානය දිනාගනිද්දී ඔස්ට්‍රේලියානු පිලේ ශේන් වොට්සන් තරගාවලියේ විරයා බවට පත් විය.
2014

බංග්ලාදේශයේ සත්කාරත්වය යටතේ පැවැති පස්වැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශුරයන් බවට පත් වීමට ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිල සමත් විය. අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා පිල හමුවේ කඩුලු 6ක පරාජයක් අත්විඳගත් ඉන්දීය පිලට අනුශුරතාව හිමි විය. තරගයේ වීරයා සම්මානය දිනාගනු ලැබුවේ කුමාර් සංගක්කාර විසිනි. විරාට් කෝලි තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.
2016

ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවති 6 වැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වූයේ ඩැරන් සැමිගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් පිලය. අවසන් මහා තරගයේදී ඔවුන් අතින් එංගලන්ත පිල කඩුලු 6කින් පරාජයට පත් විය. මාලන් සැමුවෙල්ස් තරගයේ වීරයා සම්මානයත්, විරාට් කෝලි තරගාවලියේ වීරයා සම්මානයත් දිනාගත්හ. ලීග් ක්‍රමය යටතේ පළමුවරට පැවති මෙවර තරගාවලියට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් එක් වූ ශ්‍රී ලංකා පිලට අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාවක් නොලැබිණි.
2021

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ සත්කාරකත්වය යටතේ පැවති 7 වැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ආරොන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානු පිල සමත් විය. අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 8කින් පරාජයට පත් වූයේ නවසීලන්ත පිලය. ඔස්ට්‍රේලියානු පිලේ මිචෙල් මාෂ් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, ඩේවිඩ් වෝනර් තරගාවලියේ වීරයා ලෙස සම්මානය ලැබීය. දසුන් ශානකගේ නායකත්වයෙන් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා පිලට සුපිරි වටයෙන් ඉවත් වීමට සිදු විය.
2022

ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවති 8 වැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව දිනාගැනීමට සමත් වූයේ ජොස් බට්ලර්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත පිලය. අවසන් මහා තරගයේදී ඔවුන් වෙතින් පාකිස්තාන පිල කඩුලු 5කින් පරාජයට පත් විය. එංගලන්ත පිලේ සෑම් කරන් තරගයේ වීරයා සම්මානයත්, තරගාවලියේ වීරයා සම්මානයත් දෙකම දිනාගත්තේය. දසුන් ශානකගේ නායකත්වයෙන් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා පිලට සුපිරි වටයෙන් සෑහිමකට පත් වීමට සිදු විය.
2024

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ අමෙරිකාවේ සත්කාරකත්වයෙන් පැවති 9 වැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශූරතාව දිනාගනු ලැබුවේ රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතු ඉන්දීය පිල ය. අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකානු පිල ලකුණු 7කින් පරාජයට පත් කිරීමට ඉන්දීය පිල සමත් විය. විරාට් කෝලි තරගයේ වීරයා සම්මානය දිනාගනිද්දී තරගාවලියේ වීරයා සම්මානය හිමි වූයේ ජස්ප්‍රිට් බුම්රාටය. මූලික වටයේදී එක් තරගයක් පමණක් ජය ගත් වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිලට සුපිරි වටය අහිමි විය.
ශ්‍රී ලංකාවේ
මූලික වටයේ තරග
පෙබ. 8 – අයර්ලන්තය – ආර්.ප්‍රේමදාස
පෙබ. 12 – ඕමානය – පල්ලෙකැලේ
පෙබ. 16 – ඔස්ට්‍රේලියාව – පල්ලෙකැලේ
පෙබ. 19 – සිම්බාබ්වේ – ආර්. ප්‍රේමදාස
ශ්‍රී ලංකා කණ්ඩායම
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිල් මිශාර, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, පවන් රත්නායක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, එශාන් මාලිංග සහ මතීෂ පතිරණ.
සිළුමිණ ඇසුරෙනි