CID අධ්‍යක්ෂ ශානිගේ නමින් ව්‍යාජ Email යවලා, පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

CID අධ්‍යක්ෂ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ නම සහ ලිපිනය ව්‍යාජ ලෙස භාවිත කරමින් මහජනතාව වෙත විද්‍යුත් තැපැල් පණිවිඩ යොමු කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

noucinatacha20@gmail.com සහ police.cid.lk@gmail.com යන පෞද්ගලික විද්‍යුත් ලිපිනයන් මගින් මෙම පණිවිඩ යොමු කර ඇති අතර මහජනතාව රැවටීම, මුදල් වංචා කිරීම හෝ පුද්ගලික රහස්‍ය තොරතුරු සොරකම් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවට පොලිසිය සක කරනවා.

මෙම පණිවිඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යොමු කරන ලද නිල පණිවිඩ නොවන බවත්, එවැනි පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමෙන් හෝ පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන් හෝ කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.