අල්ලස් නඩු විභාග කිරීමට හෙට සිට නව අධිකරණයක්

New court to hear bribery cases from tomorrow

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරනු ලබන නඩු කඩිනමින් විභාග කිරීම සඳහා හෙට (14) සිට තවත් විශේෂ අධිකරණයක් ස්ථාපිත කරන බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

ගෝලීය දූෂණ දර්ශකය තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, දූෂණය පිටුදැකීම සඳහා මෙරට ජනතාව තුළ සහ නිලධාරීන් තුළ ඇති වී තිබෙන ආකල්පමය වෙනස මෙම ඉදිරි ගමනට ප්‍රධානතම හේතුව වූ බවයි.

ගොඩගැසී ඇති අල්ලස් නඩු කඩිනමින් අවසන් කර වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම සඳහා මෙම නව අධිකරණ පියවර ගෙන ඇති අතර ජාත්‍යන්තර දූෂණ දර්ශකයන්ට අනුව ශ්‍රී ලංකාව යහපත් ස්ථානයකට පැමිණෙමින් තිබීම රටේ ආර්ථික ස්ථාවරත්වයට රුකුලක් බවත් දූෂණයට එරෙහිව පොදු මහජනතාව තුළ පවතින දැඩි විරෝධය සහ ආකල්පමය වෙනස මෙහිලා තීරණාත්මක වූ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා අවධාරණය කළේය.