පාතාලය සුද්ද කරන්න ආණ්ඩුවට පුළුවන්- SF

c22ade68 sarath fonseka

රටේ ජාතික ආරක්ෂාවට විශේෂ තර්ජනයක් හෝ ගැටලුවක් මතු වී නොමැති බවත්, සිදුවන ඇතැම් සිදුවීම් පදනම් කරගෙන ජාතික ආරක්ෂාව පිළිබඳ බිල්ලන් මවා පෑම දේශපාලන වාසි ලබාගැනීමේ උත්සාහයක් පමණක් බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,  වර්තමාන රජයට පාතාලය සමඟ ගනුදෙනු නොමැති බැවින් ඉතා වේගයෙන් පාතාලය මර්දනය කර රට පිරිසිදු කළ යුතු බවයි.

පසුගිය කාලය පුරා විවිධ කල්ලි කණ්ඩායම්, ජාතිභේද ඇවිස්සීම් සහ කැරලිගැසීම් හරහා ප්‍රතිරූප මවා ගැනීමට උත්සාහ කළ බව පැවසූ සරත් ෆොන්සේකා මහතා, ඒ පිළිබඳව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බව පෙන්වාදෙයි.  

එමෙන්ම ත්‍රිවිධ හමුදාව මේ වන විට අවශ්‍ය කටයුතු නිසි පිළිවෙළකට සිදු කරමින් පවතින බවත් කුඩා සිදුවීමක් කිරීමට පුද්ගලයන් එක් අයෙකු හෝ දෙදෙනෙකු වුවද ප්‍රමාණවත් වුවත්, එවැනි සිදුවීම් හරහා රටේ සමස්ත ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල නොවන බව ඒ මහතා පවසයි.

වත්මන් රජයේ මැති ඇමතිවරුන්ට රටේ අතීත අත්දැකීම් පිළිබඳ හොඳ අවබෝධයක් පවතින බැවින්, මෙම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමට ඔවුන්ට හැකියාව පවතිනු ඇතැයි තමන්  විශ්වාස කරන බවද ඔහු සඳහන් කරයි..

මෑතකදී සිදුවූ ඝාතන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේවා දේශපාලන අපරාධ නොව පාතාල ක්‍රියාකාරකම් බවයි.

පාතාලය සියයට සියයක් මර්දනය වී නොමැති බවත්, යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලායන සිදුවීම් මුළු හමුදාවම කොළඹට දැම්මද වැළැක්විය නොහැකි බවත් ඔහු පෙන්වාදෙයි.

“පාතාලය වර්ධනය වුණේ කලින් බලයේ හිටපු අයගේ සෙවණේ ඉඳගෙනයි. ඒ ගැන විවාදයක් නැහැ. ඒගොල්ලෝ තමයි ඕවා කළේ. නමුත් වර්තමාන රජයට එවැනි පාතාල සබඳතා තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා රජයට පුළුවන් මේක වේගයෙන් සුද්ද කරලා දාන්න.”

කෙසේවෙතත් රටේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවත්, ඒ පිළිබඳව රජය දැඩි පියවර ගත යුතු බවත් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් කියා සිටී.