ඉම්රාන් වෙනුවෙන් දැවැන්තයෝ 14ක් පෙත්සමක් එවයි.

wld05 9

දැනට සිර­ග­ත වී සිටින අක්ෂි ආබා­ධ­ය­කින් පීඩා විඳින ඉම්රාන් ඛාන්ට වහාම ප්‍රති­කාර ලබා­දී­මට මැදි­හත් වන ලෙස ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටියේ හිටපු නාය­ක­යන් 14 දෙනෙක් පාකි­ස්තා­නයේ අග­මැති ශෙබාස් ෂරීෆ්ට පෙත්ස­මක් ඉදි­රි­පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1992 එක්දින ක්‍රිකට් ලෝක කුස­ලා­නය පාකි­ස්තා­න­යට අත්කර දීමට නාය­ක­ත්වය ගත් ඉම්රාන් ඛාන්ට මූලික මානව හිමි­කම් යටතේ නිසි ගෞර­වය සහ සැල­කිල්ල ලබා දෙන ලෙස එම පෙත්සම මඟින් හිටපු ක්‍රිකට් නාය­ක­යන් පාකි­ස්තා­නය අග­මැ­ති­ව­ර­යා­ගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ. පාකි­ස්තා­න­යට ඓති­හා­සික ලෝක කුස­ලාන ජය­ග්‍ර­හ­ණ­යක් හිමි­කර දුන් අස­හාය ක්‍රිකට් නාය­කයා ඉම්රාන් ඛාන් බවත්, තුන්ඉ­රි­යව් දස්කම් සහ ක්‍රීඩා­ශී­ලී­ත්වය මත ගොඩ නැඟුණු ඉම්රාන්ගේ නාය­ක­ත්වය ලෝක ක්‍රිකට් ප්‍රජාව අතර ඔහුට විශාල ගරු­ත්ව­යක් ලබා ගැනී­මට ඉව­හල් වූ බවත් එම පෙත්සමේ සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

‘ඔහුගේ ක්‍රිකට් නාය­ක­ත්වය සියලු රට­වල පර­ම්පරා ගණ­නා­ව­කට දේශ­සී­මා­ව­කින් තොරව ආස්වා­ද­යක් ගෙන දුන්නා. අප බොහෝ දෙනෙක් ඔහුට එරෙ­හිව තරග කළා. ඔහු සමඟ එකම ක්‍රීඩාං­ග­ණය බෙදා ගත්තා. එහෙත් ඔහුගේ ප්‍රති­රූ­පය ඉහ­ළින්ම කැපී පෙනුණා. ඔහු මෙතෙක් අප දැක ඇති හොඳම තුන්ඉ­රි­යව් ක්‍රීඩ­ක­යකු ලෙස ඉති­හා­ස­යට එක්වී සිටි­නවා. ඔහු ක්‍රීඩා­ලෝ­ලීන්ගේ හා පරි­පා­ල­න­යෙත් ගෞර­වය දිනා­ගත්තා. ඒ ගරු­ත්වය තව­දු­ර­ටත් ඉම්රාන්ට ලැබෙන බවට සහ­තික වන ලෙස අප පාකි­ස්තාන රජ­යෙන් ඉල්ලා සිටි­නවා. මේ වන ­විට වාර්තා­වන ඔහුගේ සෞඛ්‍ය ගැටලු විස­ඳී­මට අවශ්‍ය පිය­වර ගන්නැයි අප කාරු­ණි­කව ඉල්ලා සිටි­නවා. අඛණ්ඩ වෛද්‍ය ප්‍රති­කාර, පවුලේ සාමා­ජි­ක­යන්ට ඔහු දැක­බලා ගැනී­මට අව­ස්ථාව ඇතු­ළුව ජාත්‍ය­න්තර ප්‍රමි­ති­යට අනු­කූ­ලව මානු­ෂීය සහ ගෞර­ව­නීය ලෙස ඔහුට සල­කන ලෙසත්, යුක්තිය පිළි­බඳ මූල­ධර්ම ආරක්ෂා කිරී­මට සහ ගරු කිරී­මට අප පාකි­ස්තාන බල­ධා­රී­න්ගෙන් තර­යේම ඉල්ලා සිටි­නවා.‘ එම පෙත්සමේ එසේ සට­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දි­යාවේ සුනිල් ගව­ස්කර්, කපිල් දේව්, ඔස්ට්‍රේ­ලි­යාවේ ග්‍රෙග් චැපල්, ඉයන් චැපල්, කිම් හියුස්, ඇලන් බෝඩර්, ස්ටීව් වෝ, බෙලින්ඩා ක්ලාක්, එංග­ල­න්තයේ මයික් බෙයාර්ලි, මයි­කල් ඇත­ර්ටන්, නසාර් හුසේන්, ඩේවිඩ් ගවර්, බට­හිර ඉන්දීය කොදෙව් පිලේ ක්ලයිව් ලොයිඩ් සහ නව­සී­ල­න්තයේ ජෝන් රයිට් එම පෙත්ස­මට අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

කිසිදු පාකි­ස්තාන ක්‍රිකට් ක්‍රීඩ­ක­යකු ඊට අත්සන් තබා නොමැති අතර, ඉම්රාන්ට නිසි ප්‍රති­කාර ලබා දෙන ලෙස පසු­ගිය සති­යේදී වසීම් අක්රාම්, වකාර් යූනිස් සහ ශහීඩ් අෆ්රිඩි ඇතුළු හිටපු ක්‍රීඩ­ක­යන් කිහි­ප­දෙ­නකු සමාජ මාධ්‍ය ඔස්සේ පාකි­ස්තාන රජ­යෙන් ඉල්ලී­මක් කළ බව වාර්තා වේ.