ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පළමු තරගයෙන් පරාජය වූ ශ්‍රී ලංකා පිලට තවදුරටත් බලාපොරොත්තු තබා ගත හැකි අවස්ථාවක් අද (25) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී උදාවනු ඇත.
ශ්‍රී ලංකා පිලට සුපිරි අට වටයේ තවත් තරග දෙකක් ඉතිරිව ඇති අතර, අවසන් පූර්ව වටයට යෑමට නම් එම තරග දෙකම ජය ගැනීම අනිවාර්ය වී තිබේ. අද පස්වරු 7ට ආරම්භ වන නවසීලන්තය සමඟ තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වන්නේ නම් බලාපොරොත්තු දල්වා ගත හැකිය.
එංගන්තය හමුවේ ලද පරාජයෙන් පසුව, ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරිත්වය අවම වශයෙන් දුර්වල පිතිකරුවකු ඉවත් කිරීම ගැන සලකා බලමින් සිටී. පැතුම්, කුසල්, පවන් හා දසුන්ගෙන් පසු අනෙක් පිතිකරුවන්ගේ ස්වරූපය කනස්සල්ලට කරුණකි. කමිඳු මෙන්ඩිස් තරග 5කදී ලබා ඇත්තේ ලකුණු 83ක් වන අතර, අනෙක් ක්‍රීඩකයන්ගේ පිතිකරණ භූමිකාවේ සාර්ථකත්වයක් නැත.
කමිල් මිෂාර තරග 3කදී ලබා ඇත්තේ ලකුණු 28ක් වන අතර, දුනිත් වෙල්ලාලගේ තරග 5කදී ලබා ඇත්තේ ලකුණු 41කි. ජනිත් ලියනගේ හා චරිත් අසලංක යන ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයකුට අද තරගයේ අවස්ථාව උදාකරදීමට බොහෝ සෙයින් ඉඩ ඇත.
පිතිකරුවන් ඉඳහිට ලකුණු අතරට පැමිණියද දිගින් දිගටම සාර්ථක නොවීමේ දුර්වලතා මඟහරවා ගැනීම අනිවාර්ය විය යුතු අතර, මෙවැනි තත්ත්වයක් තුළ, කණ්ඩායම් කළමනාකාරිත්වයට වෙනස්කම් සලකා බැලීම හැර වෙනත් විකල්පයක් නොමැති බව පෙනේ.
එංගලන්තයට එරෙහිව ලකුණු 147ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක කණ්ඩායම ලකුණු 95කට දැවී ගිය පසු, පැවති මාධ්‍ය හමුවකදී පිතිකරණ පුහුණුකරු වික්‍රම් රත්තෝර් මහතා පැවසුවේ, ශ්‍රී ලංකා පිතිකරුවන්ට වඩා හොඳ විකල්ප තෝරා ගත හැකිව තිබූ බවය. පසුගිය ජනවාරි මාසයේ සිට රාතෝර් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස කටයුතු කරමින් සිටී.
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ හඹා යාමට අඩු මුළු ලකුණු සංඛ්‍යාවක් තිබියදී, ශ්‍රී ලංකාවට පවර්ප්ලේහිදී කඩුලු පහක් අහිමි විය.
“පිතිකරුවන්ට මීට වඩා හොඳ විකල්ප කිහිපයක් ගන්න තිබුණා. මම හිතන්නේ තණතිල්ලේ මතුපිට මන්දගාමී වන තත්ත්වයක් තිබුණා. ඒක ඇත්තක්. පසුගිය දින කිහිපය වැසි ආවරණ යටතේ දිගු කාලයක් වසා තිබුණා. ඒ නිසා අපි දැනගෙන හිටියා මේක ඇලෙන සුලු කඩුල්ලක් වෙයි කියලා. ඔවුන් බැට් කරන විට පවා, පන්දුව ටිකක් මන්දගාමීව පැමිණියේ” රාතෝර් මහතා පැවසීය.
ප්‍රධාන පිතිකරුවන් දෙදෙනෙකු උඩපන්දු ලබා දුන් අතර, කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් පහසු උඩපන්දු ලබාදී දැවී ගියහ. ඔවුන් දක්ෂ පිතිකරුවන් වුවද පල්ලෙකැලේ තණතීරුව එවැනි දැවී යාමකට හිතකර වූ බව රත්තෝර් මහතා පැවසීය.