2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන නව විමර්ශනවලට අදාළව, ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්යක්ෂ මෙන්ම හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අද (25) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආරම්භ කරන ලද නව විමර්ශන මාලාව යටතේ පුද්ගලයන් 200කට අධික පුද්ගලයින් සංඛ්‍යාවකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර එම ප්‍රකාශ සහ විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගනිමින් ලැබුණු තොරතුරු මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
CID විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී දීර්ඝ ලෙස ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතය.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, මෙම සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින කිහිපයක රඳවා තබා ගැනීමේ නියෝග (Detention Orders) ලබා ගැනීමට විමර්ශන නිලධාරීන් සූදානම් වෙමින් පවතී. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සහ ඉන් අනතුරුව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ සුරේෂ් සලේ මහතා වෙත, ප්‍රහාරයට අදාළව විවිධ පාර්ශ්වයන්ගෙන් මෙන්ම ජාත්‍යන්තර වාර්තා (Channel 4 වැනි) මගින්ද මීට පෙර චෝදනා එල්ල වී තිබුණි. එහෙත් ඔහු එම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබුණි.
මෙම අත්අඩංගුවට ගැනීම පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් සහ ඒ පිටුපස ඇති කුමන්ත්‍රණ අනාවරණය කර ගැනීමේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බව විමර්ශන අංශ විශ්වාසය පළ කරයි.