දශක 4කට ආසන්න කාලයක් උත්තරිතර ආධ්‍යාත්මික නායකයා ලෙස ඉරානය පාලනය කරමින් ද, අමෙරිකාව, ඊශ්‍රායලය ඇතුළු බටහිර රටවල මැදපෙරදිග ආධිපත්‍යයට එරෙහිව සටන් කරමින් ද ජාත්‍යන්තර අවධානය දිනු අයතුල්ලා අලි හොසේනි කමේනි ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිත්ක්ෂයට පත්විය. ඔහුගේ මරණය ඊයේ ඉරාන රජය නිල වශයෙන් තහවුරු කළේය. ඔහුගේ පාලන තන්ත්රයට එරෙහිව පෙරේදා (පෙබරවාරි 28) උදෑසන ඊශ්‍රායලය ආරම්භ කළ ගුවන් ප්‍රහාර මාලාවේදී අයතුල්ලා කමේනිගේ කාර්යාල ගොඩනැඟිලි සංකීර්ණය ද ඉලක්කය වූ අතර, 86 හැවිරිදි උත්තරීතර නායකයා ඒ මොහොතේ කාර්යාලයේ රැඳී සිටි බව ඉරාන රජය තහවුරු කර තිබේ. සිය නායකයාගේ අභාවය වෙනුවෙන් එරට රජය දින 40ක ශෝක කාලයක් ඊයේ ප්‍රකාශයට පත් කර තිබේ. අයතුල්ලා අලි කමේනිගේ අභාවය ඉරානයේ දැඩි කැලඹීමකට හේතු වී ඇති අතර, එය ඉස්ලාමීය ජනරජයේ වඩාත්ම කම්පා සහගත සිදුවීම බවට ද පත් වී ඇත. අයතුල්ලා අලි කමේනි ඇතුළු ඔහුගේ දියණිය, බෑනණුවන් සහ මුනුපුරා ද ඊශ්‍රායල ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන රජය වැඩිදුරටත් සඳහන් කර ඇත. හමුදා නායකයන් ද ඇතුළුව එරට තවත් ඉහළම මට්ටමේ පුද්ගලයන් 40 දෙනකු පමණ ඊයේ දක්වා සිදු වූ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉරාන නායකයා හඳුන්වනු ලැබුවේ මැදපෙරදිග කලාපයේ බලවත්ම පුද්ගලයකු හැටියටය. ඉරාකයේ සදාම් හුසේන්ගෙන් සහ ලිබියාවේ මුවම්මර් ගඩාපිගෙන් පසුව අමෙරිකාවට හිසරදයක් බවට පත්ව සිටි එකම මැදපෙරදිග රාජ්‍ය නායකයා ලෙසත් සැලකේ. දශක ගණනාවක් පුරා බටහිර සහ ඊශ්‍රායල පීඩනයට එරෙහිව සටන් වදිමින් මවුබිමේ ස්ථාවරත්වය වෙනුවෙන් හඬ නැඟූ අයතුල්ලා අලි කමේනි සිය නායකත්වය යටතේ ඉරානය කලාපීය බලවතකු බවට පත් කළ අතර, සිය පියා වූ අයතුල්ලා කුමේනි 1979 දී බිහි කළ ඉරාන ඉස්ලාමීය ජනරජය රැක ගැනීම උදෙසා දැඩි තීන්දු තීරණ ගත් බව සඳහන් වේ. අලි කමේනි කරළියට සේන්දු වූයේ 1979 ඉරාන විප්ලවයෙන් එරට බලයට පත් වූ සිය පියා වූ අයතුල්ලා කුමේනිගේ පාලනය යටතේ ජනාධීපතිවරයා ලෙස පත්වීමෙනි. 1981 සිට 1989 දක්වා ඉරානයේ ජනාධිපති ධුරයේ කටයුතු කළ අලි කමේනි උත්තරීතර නායකත්වයට පත්වූයේ පියාගේ අභාවයත් සමඟය. වසර 36කුත්, මාස 6ක් ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කළ අලි කමේනි ෂා මොහොමඩ් රිසා පහ්ලවිගෙන් පසු මැදපෙරදිග කලාපයේ දීර්ඝතම රාජ්‍ය නායකයා බවට ද පත්වී සිටියේය.
න්‍යෂ්ටික අර්බුදය
පසුගිය සෙනසුරාදා අමෙරිකාව සහ ඊශ්‍රායලය යුද ප්‍රකාශ කළේ එරට මතභේදාත්මක න්‍යෂ්ටික වැඩසටහන මුල් කරමිනි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම එල්ල කරන චෝදනාවකි. අමෙරිකාව පමණක් නොව ඊශ්‍රායලය ඇතුළු අමෙරිකානු හිතවාදී රටවල් රැසක්ම ඉරානය න්‍යෂ්ටික බෝම්බ අත්හදා බලන බවට චෝදනා කරමින් සිටින්නේ වසර ගණනාවක සිටය. එහෙත් සිය න්‍යෂ්ටික වැඩසටහන විදුලිය නිපදවීමට සහ පර්යේෂණ කටයුතුවලට පමණක් සීමා කර ඇතැයි ඉරානය වරින් වර ප්‍රකාශ කර තිබිණි. න්‍යෂ්ටික බෝම්බ නිපදවීමට පියවර නොගන්නා බව ඉරානය තරයේම ප්‍රකාශ කළද, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය හෝ බටහිර රටවල් එය පිළිගැනීමට සූදානම් නොවීය. න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානයට චෝදනා එල්ල වෙමින් පවතින්නේ එවැනි පසුබිමක් මතය.
න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමට එක්වන ලෙස අමෙරිකාව මීට පෙර අවස්ථා ගණනාවකදී ඉරානයට දැනුම් දී තිබූ අතර, මැතකදී අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ආරම්භ වූයේ එහි ප්‍රතිඵලයක් හැටියටය. පළමුව ඕමානයේදිත්, පසුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදීත් පැවති සාකච්ඡා වට ත්‍රිත්වයම බිඳ වැටීමට බලපෑ හේතු ගණනාවක් ද විය. ඉරාන රජය අමෙරිකාව සමඟ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධව ගිවිසුමකට අත්සන් තැබිය යුතු බව අමෙරිකානු ජනාධිපතිවරයා තරයේම කියා සිටියත්, ඉරානයේ ස්ථාවරය වූයේ ඒ සඳහා දැනට පනවා ඇති සම්බාධක සැලකිය යුතු අයුරින් ඉවත් කළ යුතු බවය. සාකච්ඡා බිඳ වැටීමට ආසන්තම හේතුව එය වුවද ඉරානයේ පාලනය වෙනස් කිරීමේ අරමුණක් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට තිබූ බව අවස්ථා ගණනාවකදීම අනාවරණය වී තිබිණි. පසුගිය මාසයේදී ඉරාන රජයට එරෙහිව සිදුවූ දැවැන්ත ජන විරෝධය රජය පෙරළීමේ අමෙරිකානු කුමන්ත්‍රණයක් බවට අයතුල්ලා කමේනි ඇතුළු ඉරාන රජය චෝදනා කරනු ලැබුවේ එබැවිනි. විරෝධතා මර්දනය කිරීමේදී ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන් දහස් ගණනින් වෙඩි තබා ඝාතනය කිරීමේ තොරතුරු වාර්තාවීමත් සමඟ විරසකය පිපිරී ගිය බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.
එහෙත් ඊශ්‍රායලය මෙවර ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර ආරම්භ කළේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ අර්බුදය නිසා නොව සිය රාජ්‍යයේ ආරක්ෂාවට ඉරානයෙන් තර්ජනයක් එල්ල වී ඇතැයි කියමිනි. ඊට හේතු වූයේ ලෙබනනයේ ක්‍රියාත්මක වන හෙස්බුල්ලා සංවිධානයට ඉරානයෙන් මූල්‍යමය සහ හමුදාමය සහාය ලබාදීමේ චෝදනාවය.
හෙස්බුල්ලා සංවිධානය යනු දශක ගණනාවක් පුරා ඊශ්‍රායලයට වරින් වර ප්‍රහාර එල්ල කරන සන්නද්ධ කණ්ඩායමකි. පසුගිය වසරේ මැද භාගයේදී ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කළේ ද එම සිදුවීම මුල් කරමිනි. එවර පැවති දින 12ක යුද්ධයට ද අමෙරිකාව මැදිහත් විය. එහෙත් මෙවර අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ අරමුණ ඉන් ඔබ්බට ගිය එකකි. මේ ප්‍රහාරය සඳහා පෙර සූදානමක් ද පැවති අතර, දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබියදීම ඉරානයට පහර දීම සඳහා අමෙරිකාව සතු විශාලතම යුද නැව් අරාබි මුහුදේ රඳවා තැබීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තේය.
ජාත්‍යන්තර ඝාතන ඉලක්කයක්
අනිත් අතට අයතුල්ලා අලි කමේනි ජාත්‍යන්තර බලවේගවල ඝාතන ඉලක්කයක් බවට පත්වූයේ අද ඊයේක නොවන බව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු මඟින් අනාවරණය වේ. 1979 විප්ලවයේදී සැලකිය යුතු භූමිකාවක නිරතවූ අලි කමේනි ඝාතන කුමන්ත්රණයකින් වියැකී ගියේ ඔහුගේ දකුණ‘ත අප්‍රාණික කරමිනි. ඉන් පසුවත් අවස්ථා ගණනාවකදීම ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ කිහිපයක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබිණි. අලි කමේනිගේ විදේශ ප්‍රතිපත්තිය ද අමෙරිකාව ඇතුළු බටහිර රටවල් සතුරන් බවට පත් කිරීමට හේතු වූ බව ද වාර්තා විය. ෂියා ඉස්ලාම්වාදය මුල් කරගත් ඉරාන විදේශ ප්‍රතිපත්තිය එරට අපනයන ක්ෂේත්රය කේන්ද්‍ර කරගත් එකකි. එරට න්‍යෂ්ටික වැඩසටහනට ඔහු සෘජුවම නායකත්වය දුන් අතර, එය ජනතාව සඳහා යහපත් චේතනාවෙන් යුතුව සිදු කළ ව්‍යාපෘතියක් බව ද සඳහන් විය.
බටහිර බලවේග මැඬ පැවැත්වීමේ අරමුණින් ඉරානයේ ඉස්ලාමීය සන්නද්ධ බළකාය වැඩිදියුණු කිරීමට පියවර ගැනීමත් අලි කමේනි බටහිර කලාපයේ සතුරකු බවට පත්වීමට හේතු වී තිබිණි. ඔහු ඊශ්‍රායලය සහ සියොන්වාදය ප්‍රසිද්ධියේම විවේචනයට ලක් කළ අතර, ඊශ්‍රායල- පලස්තීන යුද්ධයේදී පලස්තීන ජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියේය.
මැදපෙරදිග ආධිපත්‍යය
සැබැවින්ම ඉරානය සහ බටහිර රටවල් අතර කෝන්තරය ආරම්භ වූයේ ඉරාන විප්ලවයෙන් පසු ඉස්ලාමීය ජනරජයක් බිහිවීමෙනි. එතෙක් පහ්ලවි අධිරාජ්‍යය ලෙස පැවති ඉරානය අමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය අතර, මැදපෙරදිග කලාපයේ දීර්ඝ උපායමාර්ගික සැලසුමක් තිබූ අමෙරිකාවට ඉස්ලාමීය ජනරජයේ බිහිවීම දැඩි අභියෝගයක් බවට ද පත්වී තිබිණි. ෂා පාලනය යටතේ ඉරානය, සෞදි අරාබිය සහ අමෙරිකාව අතර තෙල් නිෂ්පාදනය සහ එහි ආධීපත්‍යය සම්බන්ධව පොදු එකඟතාවක් ද පැවැතිණි. එය සෝවියට් රුසියාවේ මැදපෙරදිග බලපෑම් පාලනය කිරීම අමෙරිකාවේ අරමුණ වී තිබූ බව ද පෙනිණි.
අමෙරිකාව සමඟ පමණක් නොව ඊශ්‍රායලය සමඟ ද එවකට ෂා පාලනය දැඩි සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය අතර, ඊශ්‍රායල රටක් ලෙස පිළිගත් ලොව දෙවැනි මුස්ලිම් රාජ්ය්ය ද ඉරානය විය. එහෙත් 1979 විප්ලවයෙන් පැවැති තත්වය සහමුලින්ම වෙනස් විය. එතෙක් මැදපෙරදිග පැවති බටහිර ගැතිවාදීත්වය බිඳ වැටුණු අතර, බටහිර විරෝධි රාජ්‍යයක් බවට පත් ඉස්ලාමීය රජයක් බිහි විය. එය මැදපෙරදිග කලාපයේ දේශපාලන මුහුණුවර කැපී පෙනෙන ආකාරයේ වෙනස්වීමකට පරිවර්තනය කළ විප්ලවයකි.
එය තවත් අතකින් ෂියා මුස්ලිම් බහුතරයක් සිටින ඉරානයේ ෂියා නිකායට අනුකූලව කටයුතු කරන රජයක් බිහිවීමක් ලෙසත් සැලකිය හැකිය. එතෙක් ෂා පාලනය යටතේ පීඩිතයන් තළා පොඩි කර දැමූ බටහිර ආකල්ප යටතේ ධනවාදී ප්‍රතිපත්තියක් ගෙන ගිය ඉරානය විප්ලවයෙන් පසු බිහි වු ඉස්ලාමීය රජය යටතේ ඉස්ලාමයේ මූලධර්ම අනුව හැඩගස්වනු ලැබුවේ අයතුල්ලා කුමේනිය. ඔහුගේ පුත්‍රයා වූ අලි කමේනි සිය පියාගේ ප්‍රතිපත්තිය අකුරටම පවත්වාගෙන ගියේය.

‘ හෙතෙම සුඛෝපභෝගී ජීවිත රටාව ප්‍රිය නොකළ අතර, විවේකය ගත කරනු ලැබුවේ ඔහු සතු ගෙවත්තේ සාමාන්‍ය වැඩකටයුතුවල නිරත වෙමිනි. ඔහු කවියට සහ නවකතාවට අතිශයින්ම ආශක්තව සිටි බව ද වාර්තා වේ. ඔහු කුරාණය පාරායණය කිරීමට අමතරව ලියෝ ටෝල්ස්ටෝයි වැනි ලෝක ප්‍රකට සාහිත්‍යධරයන්ගේ කෘති කියැවීමට රුචියක් දැක්වූ අතර, වික්ටර් හියුගෝගේ ලෙස් මිසරබල්ස් (මනුතාපය) ඉතිහාසයේ හොඳම කෘතිය බව වරක් කීවේය.
පලස්තීනයට සහාය
විප්ලවයෙන් පසු කැපී පෙනෙන සිදුවීමක් වූයේ එතෙක් බටහිර සමාගම්වල බලපෑමට ලක්වූ එරට තෙල් සම්පත් නැවත රජයට පවරා ගැනීමය. අධ්‍යාපනය සහ සෞඛ්‍ය ජනසතු කිරීමට ද කුමේනි පාලනය පියවර ගෙන තිබිණි. ඉස්ලාමයට ප්‍රමුඛතාව දෙමින් සිදු කළ විප්ලවයෙන් පසු ඉරානය සහ සෞදි අරාබිය අතර සම්බන්ධතාවන් ද බිඳ වැටිණි. අයතුල්ලා කුමේනි සෞදි අරාබිය දුටුවේ ඉස්ලාමයේ පාරිශුද්ධත්වයට හානි කරන රාජ්‍යයක් ලෙසටය. පසුකාලීනව ලෙබනනය, සිරියාව සහ යේමනය සමඟ සෞදි අරාබිය ගැටුම් ඇති කරගැනීමට ඉරානයේ බලපෑම ද හේතු වූ අතර, මේ රටවල් ත්‍රිත්වයටම ඉරානය කොන්දේසි විරහිතව සහාය ලබා දුන්නේය. ලෙබනනයේ හිස්බුල්ලා සහ යේමනයේ හවුති වැනි සංවිධාන භාවිත කරමින් ඉරානය මැදපෙරදිග කලාපයේ සිය ආධිපත්‍යය පතුරුවා හැරියේය. මැදපෙරදිග කලාපයේ අමෙරිකානු සහ සෞදි අරාබි අවශ්‍යතාවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළේය. ඊශ්‍රායලය සමඟ තිබූ සියලු සම්බන්ධතා අත්හැර දැමුවේය. ඊශ්‍රායල තානාපති කාර්යාලය වසා දමා එහි පාලනය පලස්තීන විමුක්ති සංවිධානය වෙත භාර දුන්නේය. ඉරාන- ඊශ්‍රායල විරසකයේ ආරම්භය එය විය. හෙස්බුල්ලා සංවිධානයෙන් හා යේමනයේ හවුති කැරැලිකරුවන්ගෙන් එල්ල වන තර්ජනය ඉරානයේ අවශ්‍යතාව මත සිදුවන බවට ඊශ්‍රායලය චෝදනා කිරීමට මේ විරසකය බලපෑ අතර, ඉරානයේ කමේනි රජය බිඳ වැටිමෙන් පසු දෙරට අතර නැවත සාමය උදාවනු ඇතැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෑතකදී ප්‍රකාශ කර තිබිණි.
ත්‍රස්තවාදය හෙළා දැකීම
අලි කමේනිගේ පාලන තන්ත්රය සම්බන්ධව බටහිර ආකල්පය කෙසේ වුවත් ඔහු ගෝලීය ත්රස්තවාදයට එරෙහිව හඬ නැඟූ මැදපෙරදිග ප්රබලතම නායකයා බව අවිවාදිතය. 2001 සැප්තැම්බරයේ අල් කයිඩා සංවිධානය එල්ල කළ නිව්යෝර්ක් ප්‍රහාරය ඔහු දැඩි ලෙස හෙළා දුටුවේය. ලොව පුරා ත්රස්තවාදයට එරෙහිව මැදිහත්විය යුතු බවත්, ගෝලීය ත්‍රස්තවාදය තුරන් කළ යුතු බවත් අලි කමේනි අවධාරණය කර තිබිණි. එහෙත් අමෙරිකාව ඇතුළු නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීම ඔහුගේ දැඩි විවේචනයට හේතු විය. සමූල ඝාතන විනාශකාරී සිදුවීම් බවත්, ඒවා ලොව කොතැනක කවුරුන් විසින් සිදු කළද, හෙළා දකින බවත් අලි කමේනි තරයේම ප්‍රකාශ කර තිබිණි.
සාහිත්‍යයට පෙම්බැඳි නායකයෙක්
මැදපෙරදිග කලාපයේ බලවත්ම රාජ්‍ය නායකයකු ලෙස අතිශය කීර්තියට පත්වූවද අලි කමේනි ගත කරමින් සිටියේ ඉතා සාමාන්‍ය දිවි පෙවෙතකි. හෙතෙම සුඛෝපභෝගී ජීවිත රටාව ප්‍රිය නොකළ අතර, විවේකය ගත කරනු ලැබුවේ ඔහු සතු ගෙවත්තේ සාමාන්‍ය වැඩකටයුතුවල නිරත වෙමිනි. ඔහු කවියට සහ නවකතාවට අතිශයින්ම ආශක්තව සිටි බව ද වාර්තා වේ. ඔහු කුරාණය පාරායණය කිරීමට අමතරව ලියෝ ටෝල්ස්ටෝයි වැනි ලෝක ප්‍රකට සාහිත්‍යධරයන්ගේ කෘති කියැවීමට රුචියක් දැක්වූ අතර, වික්ටර් හියුගෝගේ ලෙස් මිසරබල්ස් (මනුතාපය) ඉතිහාසයේ හොඳම කෘතිය බව වරක් කීවේය. ඉරානයේ මෂ්ෂාද් නගරයේ ආගමික පවුලකට අයත් කාන්තාවක වූ මන්සූරා කොජෙස්ටේ සමඟ විවාහ වී සිටි අලි කමේනි පුතුන් සිවුදෙනකුගේ සහ දියණියන් දෙදෙනකුගේ පියෙකි.
ඉරාන නායකයාගේ මරණය අනාගත ඉරානයට තීරණාත්මක සාධකයක් වුවද, යුද ගැටුම් අඛණ්ඩව සිදු වෙමින් පවතින බැවින් ඒ පිළිබඳ පුරෝකතනය කිරීමට තවමත් වේලාසන වැඩිය. එහෙත් මේ ඛේදජනක මරණය ඉරානය පමණක් නොව මැදපෙරදිග කලාපයම අපැහැදිලි භුගෝලීය දේශපාලනික සිතියමක් නිර්මාණය කිරීමට හේතුවනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. ඔහුගේ මරණයෙන් පසු එරට නව උත්තරීතර නායකයෙක් තෝරා පත්කරගන්නාතුරු ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් ද ඇතුළත් අන්තර්වාර කවුන්සිලයක් රටේ පාලනය භාරව කටයුතු කරන බව ඉරාන රජය ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.
ෆවුස් මොහොමඩ්