සජිත් හදිසියේම විපක්ෂය කැඳවයි. මැදපෙරදිග ගැන කතා කරයි.

sajith premadhasa

පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජන කරන දේශපාලන පක්ෂ නායකයන් සමග මැදපෙරදිග යුද ගැටුම පිළිබඳ හදිසි සාකච්ඡාවක් අද (මාර්තු 3) පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බව ද හෙතෙම සඳහන් කරයි.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකයා මේ බව කියා සිටී.

මැදපෙරදිග කලාපයේ මතුව තිබෙන යුද ගැටුම් හේතුවෙන් එම කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බව ද සජිත් ප්‍රේමදාස පවසයි.

මෙම යුද ගැටුම් හේතුවෙන් ඉදිරියේදී මෙරටට බලපෑ හැකි ගැටලු සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර ඒ පිළිබඳව රජය දැනුවත් කරන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔත්තප්පුව රංකෙතගම ඊයේ (මාර්තු 2) පැවති ජන හමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස සඳහන් කළේ, පාසල් ළමුන් 850 දෙනෙකුට පාසල් උපකරණ ලබා දීම වෙනුවෙන් මැදපෙරදිග යුද්ධයෙන් ශ්‍රී ලාංකික රට විරුවන් ආරක්ෂා කර ගැනීමට රජය වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ය.

මැදපෙරදිග සේවය කරමින් මෙරටට විදේශ ප්‍රේෂණ උපයා දෙන ශ්‍රමිකයන් දශ ලක්ෂයකගේ රැකියා සහ ජීවිත අනතුරට ලක්වී ඇතැයි ද විපක්ෂ නායකයා පැවසීය.