විදුලි වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ (11) පස්වරුවේ අත්හිටුවූ බව වෘත්තීය සමිති පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ තීරණාත්මක සාකච්ඡාවක් අද (12) පැවැත්වෙන බව ද වෘත්තීය සමිති සඳහන් කරයි.
පසුගිය දින කිහිපය පුරා ක්‍රියාත්මක වූ විදුලි වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සමිති ඊයේ (11) පස්වරුවේ තීරණය කර තිබේ. කම්කරු කොමසාරිස්වරයා සහ නව විදුලි සමාගම්වල සභාපතිවරුන් සමඟ ඊයේ (11) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බව වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කරති. මෙම තීරණාත්මක සාකච්ඡාව පැවැත්වුණේ කම්කරු අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ද සහභාගිත්වයෙනි.
වර්ජනය අත්හිටුවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සිය ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (12) දිනයේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට අවස්ථාව ලබාදෙන බවට කම්කරු කොමසාරිස්වරයා ලබාදුන් පොරොන්දුවයි. විදුලි වෘත්තීය සමිති 24ක් එක්ව වර්ජනය ආරම්භ කර තිබිණි. පසුගිය 09 වැනිදා පස්වරුවේ සිට ආරම්භ වූ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීම් වාර්තා විය. විදුලි පද්ධතියේ සේවා නඩත්තු කටයුතු සඳහා ද දැඩි බාධා එල්ල විය.