ජනතාව වෙනුවෙන් විදුලිය, ගෑස්, ඉන්ධන, බලශක්ති සැපයුම අඛණ්ඩව ලබා දීම රජයේ අපේක්ෂාව බැවින් මේ සැපයුම් යථාතත්ත්වයට පත් කිරීමට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
රටේ වත්මන් ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය ආහාර සැපයුම සම්බන්ධයෙන් ඊයේ (17) සවස පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.
“එළඹෙන උත්සව සමය ඉලක්ක කරගනිමින් අත්‍යවශ්‍ය ආහාර සැපයුම් ජාලය නිරීක්ෂණය කරමින් පවතිනවා. ඉදිරි මාස 3ක් සඳහා ප්‍රමාණවත් ආහාර තොග ගබඩා කර තිබෙනවා. ඉන්ධන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් පියවර ගන්නවා.
දිගුකාලීන ටෙන්ඩර් යටතේ මෙරටට පැමිණීමට තිබූ මෙට්‍රික් ටොන් 90,000 බැගින් වූ ඉන්ධන නැව් දෙකක් නියමිත වේලාවට ළඟා නොවීම හේතුවෙන් ඉන්ධන සැපයුමේ යම් අඩුවක් පැවතුණා. මෙම තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත්වීම් සිදු කර තිබෙනවා. ඩීසල්, පෙට්‍රල්, බොරතෙල් සහ ලිහිසිතෙල් ලබා ගැනීම සඳහා විශ්වාසවන්ත සැපයුම්කරුවන්ගෙන් නව ටෙන්ඩර් කැඳවා තිබෙනවා. මීට අමතරව, ඩොලර්වලින් ව්‍යාපාර කටයුතු කරන ආයතන සඳහා තමන්ට අවශ්‍ය ඉන්ධන ආනයනය කර ගැනීමට තාවකාලික බලපත්‍ර ලබා දීමට ද රජය තීරණය කර තිබෙනවා.
පෞද්ගලික සමාගමක් ගෑස් සැපයුම අඩාළ කළද, මාර්තු මාසය සඳහා අවශ්‍ය වන මෙට්‍රික් ටොන් 33,000 ඉක්මවා මෙට්‍රික් ටොන් 38,000ක් ඇණවුම් කර තිබෙනවා. එම තොග දැන් ලැබී තිබෙනවා. තවත් ගෑස් නැවක් ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත බැවින් ගෑස් අර්බුදයක් ඇති වන්නේ නැහැ.
QR කේත පද්ධතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් රජය අවධානයෙන් සිටින අතර, දැනටමත් මිලියන 5කට අධික පිරිසක් එහි ලියාපදිංචි වී තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා ආරක්ෂිත ඉන්ධන තොග පවත්වාගෙන යන අතර, එම සේවාවන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යෑමට අවශ්‍ය වුවහොත් QR කෝටාව වැඩිකිරීමට ද පියවර ගන්නා ලෙස අමාත්‍යාංශවලට උපදෙස් දී තිබෙනවා.
Òඉන්ධනවලට අපි දිගුකාලීන ටෙන්ඩර් ප්රදානය කරලා තිබුණා. නමුත් අපි දිගුකාලීන ටෙන්ඩර් දෙකක් විශේෂයෙන් මෙට්‍රික් ටොන් 90,000 නැව් දෙකක් නියමිත කාලයට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. පෞද්ගලික අපේ තෙල් සැපයුම්කරුවන් ඉන්නවා ඔවුන්ගෙන් එක නැවක් අපිට නියමිත කාලයට ලැබෙන්නේ නෑ කියලාත් දැන් වාර්තා වෙලා තියෙනවා. අපිට අවශ්‍ය ඉන්ධන සැපයීමේ අඩුවක් තියෙනවා.. එක නැවක ප්‍රමාදයක් මේ ජාලයටම බලපෑම් එල්ල කරනවා. ඒ නිසා අපි ඉලක්ක කරලා තියෙන ඉන්ධන සැපයුම අපිට ලැබෙන්නේ නෑ.
අපි මේ වෙනකොට මැදිහත්වීම් කිහිපයක් කරලා තියෙනවා, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින්. දෙවැනි එක අපි ඉක්මන් ටෙන්ටර් කිහිපයක් දැම්මා. අපි අද ටෙන්ඩරයක් දැම්මා ඩීසල්, බොරතෙල්, ලිහිසිතෙල්, පෙට්‍රල් සඳහා. අපිට ඉතාම විශ්වාසවන්ත සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් ඇවිල්ලා තියෙනවා.
ඩොලර්වලින් ව්‍යාපාරවල යෙදෙන අය ව්‍යාපාර සඳහා ඔවුන්ට බලපත්‍රයක් ලබාදෙන්න ඔවුන්ට අවශ්‍ය වන තෙල් ආනයනය කර ගැනීම සඳහා කියලා ඔවුන්ට අපි තාවකාලික බලපත්‍රයක් ලබා දීලා තියෙනවා.
මාර්තු මාසේ ගෑස් අවශ්‍යතාව තිබ්බේ මෙට්‍රික්ටොන් 33,000යි නමුත් අපි මෙට්‍රික්ටොන් 38,000ක් ඇනවුම් කළා ඒ මාර්තු මාසයට පෞද්ගලික සමාගමක් ගෑස් සැපයුම අඩාළ කරලා තිබෙන නිසා. ඒ මෙට්‍රික් ටොන් 38,000ම ලැබිලා තිබෙනවා. තව අපි ගෑස් නැවක් ඇනවුම් කරලා තියෙනවා ඒක හෙට හෝ අනිද්දා ලැබීමට නියමිතව තිබෙනවා. ඒ නිසා ගෑස් අර්බුදයක් ඇති වෙන්නේ නෑ.
ගෑස්, ගල්අඟුරු සහ ඉන්ධන අපේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා හරහා ලබා ගැනීමට සාකච්ඡා කරමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් යනවා.
QR කේතයේ යම් යම් ගැටලු තිබෙනවා කියලා අපි දන්නවා. යම් ගැටලු මතුවෙනවා කියලා පූර්ව අවබෝධයකින් යුතුව තමයි අපි ඉරිදා දිනයක්ම තෝරාගත්තේ. දැන් මිලියන 5කට අධික පිරිස් ලියාපදිංචි වෙලා තිබෙනවා. ජාතික පද්ධතියේ යම් ගැටලුවක් එන බව දැනගෙනම තමයි අපි මේක දැම්මේ.
අත්‍යවශ්‍ය සේවා කටයුතු සඳහා අපි ආරක්ෂිත තෙල් තොග පවත්වාගනිමින් යනවා. ඉන්ධන අත්‍යවශ්‍යම තැන්වලට ඒවා බිඳ වැටෙන්නේ නැතිව. QR එක ප්‍රමාණවත් නැත්නම් ඒක වැඩි කරමින් ලබා දීම සඳහා අමාත්‍යාංශ මඟින් වැඩපිළිවෙළක් සකස් කරමින් යනවා.
ආහාර සැපයුම් ජාලය අපි අධ්‍යයනය කරමින් යනවා. විශේෂයෙන් උත්සව සමය එන්නේ. අපි මාස 3ක් දීර්ඝ වශයෙන් තොග රැස් කරන්න පුළුවන් අය සමඟ සාකච්ඡා කළා. ඔවුන් ගාව ඒ මාස 3ක තොග ගබඩා කරන්න පහසුකම් තිබෙන බව වාර්තා කළා. ඒ නිසා අත්‍යවශ්‍ය ආහාරවල හිඟයක් ඇති නොවීම ගැන අපි කල්පනා කරනවා.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ජනතාව තුළ සිය ආර්ථිකය, දරුවන්ගේ අධ්‍යාපනය සහ අත්‍යවශ්‍ය සේවා පිළිබඳව යම් අවශ්‍යතාවක් සහ නොසන්සුන්තාවක් මතු වී තිබෙනවා. මෑතකදී මෙවැනි ව්‍යසනයන් හරහා අත්විඳි කටුක අත්දැකීම් නිසා ජනතාව මෙලෙස නොසන්සුන් වීම සාධාරණ බව රජය පිළිගන්නවා. මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කර ගැනීමයි.
2024 වසරේ නොවැම්බර් මස ඇති වූ අභ්‍යන්තර කම්පනය නිසා මෙරට ආර්ථිකයට ඩොලර් බිලියන 4.1ක පමණ හානියක් සිදු වුවද, පවතින මූල්‍ය ස්ථාවරත්වය හේතුවෙන් කෙටි කලකින් සාමාන්‍ය ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජයට හැකි වුණා. 2025 වසරේ ජනවාරි සහ පෙබරවාරි දත්ත අනුව ආර්ථිකය ඉතා ශක්තිමත් මට්ටමක පවතින අතර, මහ බැංකුව එම මාස දෙක තුළ පමණක් ඩොලර් මිලියන 700ක් මිලදී ගෙන තිබෙනවා. 2025 වසර මෙරට ආර්ථිකයේ දශක කිහිපයකට පසු ඉහළම දත්ත වාර්තා වූ ප්‍රශස්තම වසරයි.
වර්තමාන යුද්ධයේ ස්වභාවය අනුව බලශක්ති සැපයුම් ජාලයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල වීම නිසා ජාත්‍යන්තර බලශක්ති වෙෙළඳපොළේ අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. මෙරටට ඉන්ධන රැගත් නැව් පැමිණීම ප්‍රමාද වීම නිසා සැපයුමේ අඩුවක් මතු වී තිබෙනවා. මෙයට විසඳුම් ලෙස රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ඩීසල්, පෙට්‍රල් සහ බොරතෙල් සඳහා විශ්වාසවන්ත සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවා තිබෙනවා. මිතුරු රාජ්‍යයන් සමඟ සාකච්ඡා කර බලශක්ති සැපයුම තහවුරු කිරීමට පියවර ගෙන තිබෙනවා.
පවතින ඉන්ධන ප්‍රමාණය කළමනාකරණය කර ගැනීම සහ පිරිමසා ගැනීම සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දී තිබෙනවා. ඩොලර් උපයන අපනයනකරුවන්ට සහ සංචාරක ක්ෂේත්‍රයේ අයට තමන්ට අවශ්‍ය ඉන්ධන ඩොලර් මඟින් ආනයනය කර ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
බලශක්ති අර්බුදය හමුවේ වුවද අත්‍යවශ්‍ය සේවා අඩාළ නොවීමට රජය සැලසුම් කර තිබෙනවා. මාර්තු මාසයට අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටොන් 38,000ම ලැබී ඇති අතර තවත් නැවක් පැමිණීමට නියමිතයි. ගල්අඟුරු සැපයුම සඳහා ද අලුතින් නැව් 5ක් මිලදී ගැනීමට අනුමැතිය ලැබී තිබෙනවා.
සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා සති හයක ආරක්ෂිත තොග පවත්වාගෙන යන අතර, අස්වැන්න නෙළන ගොවීන්ට සහ ධීවරයන්ට අවශ්‍ය ඉන්ධන ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක් සකසා තිබෙනවා.
අත්‍යවශ්‍ය ආහාර මාස තුනකට ප්‍රමාණවත් පරිදි රැස් කිරීමට සහ ඒවා බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
රාජ්‍ය අංශයේ ඉන්ධන භාවිතය 25%කින් අඩු කිරීමට උපදෙස් දී ඇති අතර, සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් වැඩ කරන දින ක්‍රමවත් කර තිබෙනවා. මෙම අර්බුදය නිසා පීඩාවට පත්වන ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට සහන ලබා දීම සඳහා (ණය වාරික, රක්ෂණ සහ සහනාධාර) විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ ඇතැම් අංශවල (ගල්අඟුරු, ගෑස්, ඖෂධ) පැවති ව්‍යාපාරික ඒකාධිකාරයන් බිඳ දමා, විනිවිදභාවයකින් යුත් ටෙන්ඩර් පටිපාටියක් හරහා ඕනෑම අයකුට ප්‍රවිෂ්ට විය හැකි සාධාරණ ක්‍රමයක් සකස් කරනවා.
රජය හිතවත් රාජ්‍යයන් සමඟ රාජතාන්ත්‍රික මට්ටමෙන් ඉතාමත් සමීප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඉන්ධන, ගෑස් සහ ගල්අඟුරු ලබා ගැනීම සඳහා අවශ්‍ය ලිපිලේඛන හුවමාරු කර ගනිමින් පවතින අතර, මේ වන විට ඇතැම් ගිවිසුම් පිළිබඳව සාකච්ඡා මට්ටමේ පවතිනවා. විදෙස් මිතුරු රාජ්‍යයන්ගෙන් ලබාගත හැකි සහය පිළිබඳව රජය නිරන්තරයෙන් අවධානයෙන් පසුවන අතර, රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවලට ගල්අඟුරු සැපයුම ද ඇතුළත් කර තිබෙනවා. මෙම රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් හරහා මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් ඇති වීම වැළැක්වීමට රජය උපරිම උත්සාහ කරනවා.
අනාගතයේදී ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියහොත්, එමඟින් ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා රජය බදු සහන සහ උපායමාර්ගික ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබෙනවා. තෙල් මිල ඉහළ යෑම ආර්ථිකයට අහිතකර ලෙස බලපාන්නේ නම්, දැනට තෙල් මත පනවා ඇති බද්දේ යම් ප්‍රතිශතයක් ඉවත් කිරීමට (අඩු කිරීමට) රජය බලාපොරොත්තු වෙනවා. රජය විසින් මාර්තු මාසයේදී තෙල් මිල වැඩි කිරීම හරහා තෙල් සංස්ථාව ලැබූ ලාභය සහ බදු ප්‍රතිශතය අඩු කිරීම යන කරුණු දෙකම සැලකිල්ලට ගෙන, ඉදිරියේදී මිල වැඩිවීමක් සිදු වුවහොත් එම වැඩි වන ප්‍රමාණය අඩු කිරීමට පියවර ගනු ලැබුණා.
රජයේ අරමුණ වන්නේ අධික ලෙස තෙල් මිල වැඩි වීමට ඉඩ නොදී, බදු සහන ලබා දීම හරහා ආර්ථිකය හැකිළීම වැළැක්වීමයි. තෙල් මිල අධික ලෙස වැඩි වුවහොත් අනෙකුත් අංශවලින් ලැබෙන බදු ආදායම ද අඩු විය හැකි බැවින්, ඒ අතර මධ්‍යස්ථ සමබරතාවක් පවත්වා ගැනීමට මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තිබෙනවා.
තෙල් සංස්ථාව සතුව තිබූ රුපියල් කෝටි 9000කට (බිලියන 884කට) අධික ණය බර මහා භාණ්ඩාගාරය විසින් භාරගෙන ඇති බැවින්, එම ණය පියවීමට දැනට තෙල් මත යම් බද්දක් පනවා තිබෙනවා. අනාගතයේදී මිල සූත්‍රය අනුව මිල ගණනය කිරීමේදී ලෝක වෙෙළඳපොළේ මිල මෙන්ම මෙම ණය පියවීමේ අවශ්‍යතාව ද සැලකිල්ලට ගනු ලබනවා.
රජය මේ වන විටත් මුදල් අමාත්‍යාංශය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, ජනතාවට සහ ආර්ථිකයට දැරිය හැකි මට්ටමක තෙල් මිල පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී බදු සහන ලබා දීමට රජය කටයුතු කරනවා. අවසාන වශයෙන්, මෙම අභියෝගය ජය ගැනීමට රජය සතුව ශක්තිමත් වැඩපිළිවෙළක් පවතින බැවින් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බව කියන්න කැමැතියි., රජයේ ක්‍රියාමාර්ග සඳහා සහය ලබා දෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”