නායකයා මැරුණත් ඉරානය නොවැටෙන රහස මෙන්න

isfahan 1

නායකයා මැරුණහම ඇයි ඉරානය වැටෙන්නැත්තෙ කියන එක මේ වෙද්දි උණුසුම් මාතෘකාවක්. ඒකට හේතු කීපයක් තියෙනවා. මේ අතරින් විශේෂ හේතුවක් තමයි ඉරාන ‘ආණ්ඩුව හැදිලා තියෙන විදිහ‘. ඉරානය පාලනය වෙන්නෙ මෙහෙමයි.

අපි 1979 ඉරාන විප්ලවය ගැන කලින් ලිපියක කතා කෙරුවනෙ. එතැනින් පස්සෙ තමයි මේ පාලන ක්‍රමය පිහිටෙව්වෙ. රුහොල්ලා කමෙයිනි තමයි මේ ක්‍රමය නිර්මාණය කෙරුවෙ.

රුහොල්ලා විශ්වාස කෙරුවා, රටක පාලනය සිද්ධ වෙන්න නම් නූතන ප්‍රජාතාන්ත්‍රික ආයතන පද්ධතියකුත්, ඒවා ආවරණය කරන ආගමික යාන්ත්‍රණයකුත් තියෙන්න ඕන බව. ඉතින් එයා මේ පද්ධතිය හැදුවෙ ඡන්දයෙන් පත්වන නියෝජිතයින් රට පාලනය කරද්දි, ආගමික පූජකයින් විසින් මේ අයව නියාමනය කරන විදිහට.

🔴මේ පද්ධතියේ බලවත්ම කෙනා තමයි ‘උත්තරීතර නායකයා‘.

c 2026 01 17t122406z 2004617012 rc203ja0yluo rtrmadp 3 iran economy protests

ඉරානයේ හිටපු උත්තරීතර නායකයා වෙච්ච අලි කමෙයිනි පසුගියදා අමෙරිකානු ප්‍රහාරයකින් මැරුණා. අලුත් කෙනා තමයි මොජ්ටාබා කමෙයිනි.

මෙයා තමයි ඉරානයේ ‘රාජ්‍ය නායකයා‘. ඒ වගේම රටේ බලවත්ම දේශපාලන සහ ආගමික චරිතය.

ඉරාන උත්තරීතර නායකයාගේ බලතල මොනවද? මෙයා තමයි ඉරානයේ රාජ්‍ය ප්‍රතිපත්ති නියාමනය කරන්නෙ. ආරක්ෂක අංශවලට අණ දෙන්නෙ. හමුදා ප්‍රධානීන් පත් කරන්නෙ. පොලිසියේ සහ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායෙ ප්‍රධානීන් පත් කරන්නෙ. ඒ වගේම ඇමති මණ්ඩලය පත් කිරීමේ සිට ඇමති මණ්ඩලයේ තීරණ නියාමනය කිරීම වෙනකන් වැඩවලටත් මෙයා මැදිහත් වෙනවා.

🔴ඊළඟට තියෙයි, ඉරාන විශේෂඥ මන්ත්‍රණ සභාව.

මේකෙ ප්‍රධානම වැඩේ තමයි, උඩ කියාපු ඉරාන උත්තරීතර නායකයාව පත් කිරීම. මේ මන්ත්‍රණ සභාවෙ ඉන්නවා සාමාජිකයින් 88ක්. මෙයාලා ඉරාන මිනිස්සුන්ගෙ ඡන්දයෙන් තමයි පත්වෙන්නෙ. ඉරානයේ ව්‍යවස්ථා බලතල අනුව නම් මේ සභාව විසින් උත්තරීතර නායකයාගේ ක්‍රියා පටිපාටීන් නියාමනය කරන්න ඕන. හැබැයි ප්‍රායෝගිකව නම් ඒක වෙන්නෑ.

🔴ඊළඟට ඉන්නවා ‘ඉරාන ජනාධිපති‘. මෙයා තමයි ආණ්ඩුවේ ප්‍රධානියා. (උත්තරීතර නායකයා රාජ්‍යයේ ප්‍රධානියානෙ)

මෙයා අවුරුදු 4කට සැරයක් ඉරාන මිනිස්සුන්ගෙ ඡන්දයෙන් පත් වෙනවා. දැන් ඉන්නෙ ‘මසූද් පෙසෙෂ්කියාන්‘. මෙයාගෙ රාජකාරිය තමයි නීති ක්‍රියාත්මක කරවීම, ආර්ථිකය පවත්වාගෙන වැඩිදියුණු කිරීම, විදෙස් රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගැනීම වගේ වැඩ කරමින් ආණ්ඩු බලය ප්‍රැක්ටිස් කරන එක.

ඉරානයේ ඇමති මණ්ඩලය පත් කරන්නෙත් ජනාධිපති විසින්ම තමයි.

මෙයාගෙ බලතලවලට තියෙන එකම සීමාව තමයි, උත්තරීතර නායකයාගේ නියාමනයට මෙයා යටත් වීම.

🔴ඊළඟට ඉන්නවා ඉරාන පාර්ලිමේන්තුව.

මේකට කියන්නෙ ‘මජ්ලිස්‘ එක කියලා. ඉරාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් ඉන්නවා 290 ක්. මෙයාලා දිස්ත්‍රික් මට්ටමින් ඡන්දයෙන් පත්වන අය. ඊට අමතරව ලංකාවෙ ජාතික ලැයිස්තුව වගේ ඉරානයේ තියෙයි ‘සුලු ජාතික ආගම් නියෝජනය කරමින්‘ පත්වෙන ලැයිස්තුවක්. මන්ත්‍රීන් 5 දෙනෙක් මේ සුලුජාතික ආගමිකයන් අතරින් පත් වෙනවා.

මේ සුලු ජනවර්ගවලට වෙන් වූ ආසන 5 බෙදෙන්නෙ මෙහෙමයි.
ආර්මේනියානුවන්ට 2 යි. ඇසිරියානුවන්ට 1 යි. යුදෙව්වන්ට 1 යි. ශරතුස්ත්‍රවාදීන්ට 1 යි. 2024 දි පැවති අවසන් පාර්ලිමේන්තු මැතිවරණෙදිත් මේ ආසන 5ට පස් දෙනෙක් තේරී පත් උනා.

ඉරාන පාර්ලිමේන්තුවේ කාර්යය තමයි, නීති නිර්මාණය කිරීම, අයවැය සම්මත කිරීම, අමාත්‍ය මණ්ඩල තීරණ සම්මත කිරීම වගේ කාර්යයන්.

හැබැයි ඉරාන පාර්ලිමේන්තුව විසින් හදන නීති අධීක්ෂණය කරන්න තවත් ආයතන පද්ධතියක් ඉරානයේ තියෙයි.

🔴ඒ තමයි ආරක්ෂක කවුන්සිලය.

ඉරාන ආරක්ෂක කවුන්සිලයෙ ඉන්නවා සාමාජිකයින් 12ක්. ඒකෙන් 6 දෙනෙක් ආගමික පූජකයින්. මෙයාලව පත් කරන්නෙ ඉරාන උත්තරීතර නායකයා විසින්. අනෙක් 6 දෙනාව පත් කරන්නෙ ඉරාන පාර්ලිමේන්තුව විසින්.

මෙයාලා කරන්නෙ ඉරාන පාර්ලිමේන්තුව හදන අණ පනත් (ඒ කියන්නෙ නීති) අධීක්ෂණය කරන එක. ඒක කරන්නෙ මෙහෙමයි.

මුලින්ම බලනවා මේ හදන අණ පනත් ඉරාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද කියලා. ඊළඟට බලනවා ඒ අණ පනත් ඉස්ලාම් ආගමික මූලධර්මවලට අනුකූලද කියලා. මේ දෙකටම අනුකූලයි නම් තමයි ඒක නීතියක් බවට පත් වෙන්නෙ.

මෙයාලා අනුමත කෙරුවෙ නැත්නම් ඒ නීති අණ පනත් අහෝසි වෙනවා.

මේ ආරක්ෂක කවුන්සිලය විසින් තමයි ඉරාන මැතිවරණ පැවැත්විම නියාමනය කරන්නෙත්. මේකෙන් තමයි ඉරාන ජනාධිපතිවරණයට, පාර්ලිමේන්තු මැතිවරණයට, විශේෂඥයින්ගේ මන්ත්‍රණ සභාවට කියන ආයතන 3ට තරඟ කරන අපේක්ෂකයින්ගෙ නම් අනුමත කරන්නෙ. මේ හින්දා ඉරාන පාලන ක්‍රමයේ විශේෂ බලයක් තියෙන ආයතනයක් තමයි ‘ආරක්ෂක කවුන්සිලය‘.

🔴ඊළඟට තියෙයි ඉරාන යෝග්‍යතා සභාව.

මේ යෝග්‍යතා සභාවට පැවරෙනවා විශේෂ කාර්යයක්. ඒ තමයි ඉරාන පාර්ලිමේන්තුවෙන් අණ පනත් නිර්මාණය කරලා, ඒවා ආරක්ෂක කවුන්සිලය විසින් අධීක්ෂණය කරද්දි එන ප්‍රශ්න නිරාකරණය කිරීම. මොකද අරගොල්ලො හදලා, අනිත් කට්ටිය ඒක අනුමත නොකෙරුවහම ඒ ආයතන අතර ගැටුමක් එනවනෙ. අන්න එතකොට මේ යෝග්‍යතා සභාව මැදිහත් වෙලා විනිශ්චයකාරයෙක් විදිහට මේ දෙකේම අදහස් විමසා බලනවා. බලලා තීරණයක් දෙනවා. කාලයක් යද්දි මේ හින්දාම ඉරාන යෝග්‍යතා සභාව ආණ්ඩුවේ උපදේශන ආයතනයක් විදිහටත් බලවත් වෙලා තියෙනවා.

🔴ඊළඟට තියෙයි විශේෂ ආයතනයක්. ඒ තමයි ‘ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය‘.

මේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයයි, කලින් කතා කරපු ආරක්ෂක කවුන්සිලයයි කියන්නෙ දෙකක්.

උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයෙ ඉන්නෙ, ඉරානයේ බලවත්ම දේශපාලන මුහුණු ටික.

ඒ තමයි, ඉරාන ජනාධිපති, පාර්ලිමේන්තුවේ කතානායක, ඉරාන අධිකරණයේ අගවිනිසුරු, ආරක්ෂක අංශවල ප්‍රධානීන්, ඉරානයේ ප්‍රධානම (විදෙස් කටයුතු, බුද්ධි අංශ, අභ්‍යන්තර කටයුතු ආදී) ඇමතිවරු, ඉරාන උත්තරීතර නායකයාගේ නියෝජිතයෙක් ආදී පිරිසක්.

මෙන්න මේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය තමයි ඉරානයේ යුධ කටයුතු ගැන, ආරක්ෂාව ගැන තීරණ ගන්නෙ. ඒ කියන්නෙ අද වෙද්දි තියෙන යුද්ධයේ සැලසුම් සහ තීරණ ගන්නෙ. විදෙස් ප්‍රහාර ගැන සොයා බලන්නෙ. යුද්ධ කාලෙට රටේ අභ්‍යන්තර ආරක්ෂාව බාර වෙන්නෙ මේ කවුන්සිලයට.

සාමාන්‍යයෙන් ඉරාන ඉතිහාසයේ ඇති වෙච්ච කැරලි, ආර්ථික අවපාත, සම්බාධක, යුද්ධ ආදී බරපතල ගැටලු කාලසීමාවලදි රටේ තීන්දු තීරණ ගන්නා ප්‍රධානම ආයතනය වෙන්නෙ මෙන්න මේ ‘උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය‘.

මේ යටතේ ඉරානය ඇතුලෙ ආරක්ෂක අංශ ප්‍රධාන තලයන් දෙකක් තියෙයි.

පළමුවැන්න තමයි ඉරාන හමුදාව. මේ තමයි අපි දන්න ඕනෑම රටක තියෙන විදිහෙ හමුදාව. ඊළඟ එක තමයි ‘ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය‘. මේක ටිකක් වෙනස්.

මේ විප්ලවීය ආරක්ෂක බලකාය හැදුවෙ 1979 විප්ලවයෙන් පස්සෙ. මොකද ඕනෑම වෙලාවක රටක හමුදාවක් විසින් කැරලි ගහන්න හෝ ද්‍රෝහී වෙන්න පුලුවන්. ඒ හින්දා ඉරානයේ පාලකයා කවුරු උනත්, ඒ පත්වෙන කෙනාට පක්ෂපාතී වන හමුදාවක් විදිහට තමයි විප්ලවීය ආරක්ෂක බලකාය ක්‍රියාත්මක වෙන්නෙ.

කොටින්ම මෙයාලා සේවය කරන්නෙ ආණ්ඩුවට නෙවෙයි. ඉරාන රාජ්‍යය නමැති ‘මතවාදයට‘.

මේ සියල්ලටම යටින් ඉරානයේ සංස්කෘතික කටයුතු නියාමනය සඳහා වෙනම ආයතන පද්ධතියක් බොහොම ශක්තිමත්ව තියෙයි. අධිකරණ, රාජ්‍ය සේවය වගේ සාමාන්‍ය ආයතන පද්ධතියත් මේ සමඟ ක්‍රියාත්මකයි.

මේ සිස්ටම් එක සංකීර්ණයි නම් වෙලාවක නැවත කියවන්න. ඔන්න ඔය සිස්ටම් එකේ විශේෂයක් තියෙයි.

ඒ තමයි උත්තරීතර නායකයා පත්වෙන්නෙ ඉරාන ආගමික මූලධර්ම පවත්වාගෙන යෑමේ උවමනාවෙන්. අන්තිමට එයා පවා පුද්ගලයෙක් විදිහට නැතිව ‘දෘෂ්ටිවාදයක්‘ විදිහට ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එයා හරහා ආයතන පද්ධති ගණනාවකට මේ දෘෂ්ටිවාදී කොටස කාන්දු වෙනවා. සමහර තැන්වලදි එයා විසින් පත්කරන නියෝජිතයන් හරහා කාන්දු වෙනවා. සමහර තැන්වලදි එයා විසින් නියාමනය කරන නිසා කාන්දු වෙනවා.

ඒ අතරේ, ඉරාන ජනතාව විසින් ඡන්දයෙන් පත්කරන අති විශාල පිරිසක් පාලනයට හවුල් වෙනවා. ඔය දෙකටම අමතරව ඉරානයේ ආගමික පූජකයින් අතර ඉන්න දෙවැනි පෙළ නායකයින් අති විශාල ප්‍රමාණයක් විවිධ ආයතන හරහා පාලනයට හවුල් වෙනවා.

මේ හින්දා ඉරානය ඇතුලෙදි අභ්‍යන්තර සතුරන් තමන්ගේම කණ්ඩායමෙන් නිර්මාණය වීම අවමයි. මොකද ඒ බහුතරය පාලනයේ කොයි කොනක හෝ ඉන්නවා. මේ හැමෝම බය කරමින් උඩින් ඉන්නෙ ආගම.

මේ යාන්ත්‍රණයේ ලොකුම වාසියක් තමයි, පාලක පක්ෂයට හිතවත් හැම තලයකම නියෝජිතයින්ව පාලනයට හවුල් කරගැනීම. ලොකුම අවාසිය තමයි විරුද්ධ මතවාදයකට ක්‍රියාත්මක වෙන්න ඉඩක් නොපැවතීම.

ඉරාන පාලනයේ කුමන හෝ කොටසකට විරුද්ධ වීම කියන්නෙ දෙවියන්වහන්සේට විරුද්ධ වීමක් බව ‘දෘෂ්ටිවාදය‘ විසින් මිනිස්සුන්ට තහවුරු කරවනවා. මේ වෙලාවට ඉරානයේ විරුද්ධවාදීන් ගැන වගබලාගන්නෙ ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය. මේ බලකායට ඉරානය වගේම, මේ බලකායමත් බයයි. ඉරානයේ විරුද්ධ මතවාදීන් පහුගිය කාලෙ සුන්නද්ධූලි උනේ මේ අය අතින්.

ඉතින්, ඉරානයේ මේ සංකීර්ණ පාලන යාන්ත්‍රණය ලේසියෙන් බිඳින්න බෑ. උත්තරීතර නායකයාගේ මරණය ඉරානයට තදින් දැනුණා. හැබැයි ඉරානයේ තීන්දු තීරණ ගන්න යාන්ත්‍රණයට නම් එයා නැතිව ඉදිරියට යන්න පුලුවන්.

අමෙරිකානු ජනාධිපති විසින් කිව්වෙ, ඉරානයේ පාලනය ජනතාව අතට ගන්න කියලා. හැබැයි අතට ගන්න පටන් ගන්නෙ කොයි ආතනයෙන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්.

උත්තරීතර නායකයා, විශේෂඥ කවුන්සිලය, ජනාධිපති, පාර්ලිමේන්තුව, ආරක්ෂක කවුන්සිලය, යෝග්‍යතා සභාව, උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය කියන හැම එකක්ම පුරා විහිඳුනු බලයක් එකපාර කාගෙහරි අතට ගන්න බෑ. ඒ වගෙම මේ හැමදේම කරලා, පොලිසි, හමුදාව පවා යටපත් කරලා බලයට ආවා උනත්, පුද්ගලයා කවුද කියා නොබලා දෘෂ්ටිවාදය වෙනුවෙන් පෙනී ඉන්න ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායෙන් ගැලවීමක් වෙන්නෑ.

මේ සිස්ටම් එකේ හොඳ-නරක දෙකම තියෙයි. ආගමික රාජ්‍යයක් වීම සහ දෘෂ්ටිවාදයක් විසින් නඩත්තු වීම තමයි මේකෙ තියෙන වෙනස. ඒ හැර රටක පාලන තන්ත්‍රයක තියෙන්න පුලුවන් හොඳම යාන්ත්‍රණයක් තමයි ඉරානයට තියෙන්නෙ. ඒ හින්දා තමයි එක්කෙනක් මරා දාලා බලය අන්සතු කරන්න බැරි.

මේ ලිව්වෙ නායකයා මැරුණහම ඉරානය නොවැටෙන්න තියෙන හේතු සිය ගානකින් එකක්. ඒ වගේම ඉරානයේ පාලන යාන්ත්‍රණය. මේක විස්තර කරනවා නම් තවත් සංකීර්ණයි. සංකීර්ණ වෙන්න වෙන්න ඕනම දෙයක් තිරස්ව පැතිරෙනවා. විහිඳෙනවා. එකමිටට ගන්න බැරිව යනවා.

ඉරානයට මේ පාලනය එපානම්, සැබෑ ජනතා බලයක් ගොඩනඟන්න කවදාවත් අමෙරිකාවෙ සහායයෙන් බෑ. ඒකට 1979 විප්ලවයට එහා ගිය ස්වදේශීය ජනතා විප්ලවයකට යන්නම වෙනවා.

සටහන: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ