බදාදා දිනය රජයේ කාර්යාල කටයුතු සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා, සෑම බදාදා දිනකම ක්‍රියාත්මක කරන රාජකාරි අඟහරුවාදා දිනය තුළ සිදුකළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර ඊයේ (17 දා) නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.
බදාදා දිනය නිවාඩු දිනයක් වුවත් එදිනට නිලධාරියෙක් සේවයට කැඳවීමට ආයතන ප්‍රධානියාට අවශ්‍ය නම් චක්‍රලේඛය බාධාවක් නොවන බවත්, එම නිලධාරියා කැඳවීම නිසා ඔහුට දින වැටුප්, අතිකාල හෝ හිලව් නිවාඩු ලබානොදිය යුතු බවත් ආලෝක බණ්ඩාර නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.
එම චක්‍රලේඛයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.
‘නැවත දැනුම්දෙන තුරු සෑම සතියකම බදාදා දිනය රජයේ කාර්යාල කටයුතු සඳහා නිවාඩු දිනයක් ලෙස සැලකිය යුතුය. ඒ අනුව බදාදා දිනය තුළ මේ වන විට ක්‍රියාත්මක වන රාජකාරි එම සතියේ අඟහරුවාදා දිනට යොදාගත යුතුය. එසේ වුවද යම් නිලධරයෙකු එදිනට සේවයේ යෙදවිය යුතු යැයි ආයතන ප්‍රධානියා විසින් තීරණය කරනු ලබන්නේ නම් අදාළ නිලධරයන් සේවයට කැඳවීමට මෙය බාධාවක් නොවිය යුතු අතර, ඒ සඳහා නිවාඩු දින වැටුප්, අතිකාල හෝ හිලව් නිවාඩු ලබා නොදිය යුතුය.
නිලධරයෙකු සේවා ස්ථානයට නොකැඳවා ඔහුට පැවරී ඇති රාජකාරි ඉටුකරවා ගැනීමට අවශ්‍ය ආයතනික තාක්ෂණික පහසුකම් දැනටමත් පවතින දෙපාර්තමේන්තුවල ප්‍රධානීන්ට/ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට එම නිලධරයාගේ සේවය ඔහු/ ඇය සේවා ස්ථානයට නොකැඳවා ලබාගැනීමට හැකි වැඩපිළිවෙළක් සකසාගත හැකිය.
එසේම බදාදා දිනයේ වසාතබන කාර්යාලවල නිලධරයන් එම සතියේ සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දිනයක දී අතිකාල ගෙවීමේ පදනමින්, නිවාඩු දින වැටුප් ගෙවීමේ පදනමින් හෝ හිලව් නිවාඩු ලබාදීමේ පදනමින් හෝ සේවයේ නොයෙදවිය යුතුය.
එසේ වුවද සේවයේ හදිසි අවශ්‍යතාවක් මත සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දිනයක දී හෝ ස්වකීය ආයතනයේ නිලධරයන් සේවයට කැඳවීමේ අවශ්‍යතාවක් ඇති වුවහොත් අදාළ අමාත්‍යාංශ ලේකම්ගේ/ පළාත් ප්‍රධාන ලේකම්ගේ/ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ/ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ගේ අනුමැතිය ඇතිව අදාළ ආයතන ප්‍රධානියාට එම නිලධරයන් සේවයට කැඳවීමට බාධාවක් නොමැත. එසේ සේවයට කැඳවනු ලබන නිලධරයන් සඳහා අතිකාල දීමනා, නිවාඩු දින වැටුප් හෝ හිලව් නිවාඩු ලබාදීමට බාධාවක් නොමැත. තවද, දිව්වා සුළිකුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදාවලට අදාළ රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය නිලධරයන් කැඳවීමේ බලය අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරේ.
අධිකරණ ක්ෂේත්රයට අයත් ආයතන වෙත නිලධරයන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබාදෙනු ඇත.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන මෙම කාලසීමාව තුළ පවත්වාගෙන යෑම පිළිබඳව අවශ්‍ය උපදෙස් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් විසින් ලබාදෙනු ඇත.
රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල වලට අදාළව මෙම චක්‍රලේඛ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී යම් ගැටලුවක් මතුවුවහොත් ඒ සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් විමසා එකී උපදෙස් පරිදි කටයුතු කළ යුතුය.
තවද, රජයේ ආයතනවල උත්සව, සම්මන්ත්රණ වැනි දේ සංවිධානය කිරීම නතර කිරිමට අවශ්‍ය පියවර ගත යුතුය. මෙහිදී රාජ්‍ය වියදම් කළමනාකරණය කරගැනීම සඳහා විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ 2022.03.08 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2022 කෙරෙහි ද අවධානය යොමුකර කටයුතු කරන මෙන් වැඩිදුරටත් අවධාරණය කරමි.
තවද, රජයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට මෙයින් බාධාවක් නොවිය යුතු අතර, එම අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකු/ පළාත් ප්‍රධාන ලේකම්වරයෙකු/ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානියෙකු විසින් බදාදා දිනයේදී විවෘතව තැබිය යුතු බවට තීරණය කරනු ලබන ආයතන සඳහා ද මෙම චක්‍රලේඛ විධිවිධාන අදාළ කර නොගත යුතුය. මේ අතර සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම සැලකිල්ලට ගෙන අද (18දා) පාර්ලිමේන්තුව රැස් නොකිරිමට ඊයේ තීරණය කරනු ලැබිය. පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී ඊයේ මෙම තීරණය ගනු ලැබීය.’
(දිවයින)